ආපදා හේතුවෙන් මහනුවර පුද්ගලයන් 80ක් අවතැන් නදීක දයා බණ්ඩාර

ආපදා හේතුවෙන් ගතවූ පැය 24ක කාලය තුළ මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 21 ක සාමාජික සාමාජිකාවන් අසූ දෙදෙනෙකු පීඩාවට පත්ව සිටිති.
අධික වර්ෂාව හමුවේ ගල් පෙරළීම, නාය යාම, පස් කඳු කඩා වැටීම වැනි හේතු නිසා මෙම හානි වාර්තාවන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා පැවසීය.
පේරාදෙණිය නගරයේ සිදුවූ නාය යාම හේතුවෙන් එක් අයෙකු මරණයට පත්විය. පූජාපිටිය, අකුරණ, යටිනුවර, තුම්පනේ,මිනිපේ, මැදදුම්බර, හාරිස්පත්තුව හා ගඟවට කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලින් වැඩිම හානි වාර්තා වී ඇතැයි ද සහකාර අධක්ෂවරයා කීවේය.
පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිවාස දෙකක් ආපදා හේතුවෙන් සම්පූර්ණයෙන් විනාශ වී තිබේ. අකුරණ, තුම්පනේ හා මැදදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ඇතුලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හතක නිවාස 17කට අර්ධ වශයෙන් හානි වී ඇත.
ගන්නෝරුව – ගොහාගොඩ ප්‍රධාන මාර්ගයට වරාතැන්න ප්‍රදේශයෙන් ගල් හා පස් කදු පෙරළීමෙන් මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇති අතර මේ වන විට එක් මංතීරුවක් වාහන ගමනාගමනයට විවෘත කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු යොදා තිබේ.
නාය අවදානම ලක්ව ඇති දොළුව ප්‍රදේශීය ලේකම් කාර්යාලය පිළිබද ක්ෂේත්‍ර නිරීක්ෂණයක් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය මගින් සිදු කොට ඇති අතර අවදානම් සහිත අංශ ඉන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
අධික වර්ෂාව හමුවේ ගස් පෙරළීම්, නාය යාම්, පස් හා ගල් පෙරලීම් හා අකුණු අනතුරු සිදුවිය හැකි බැවින් හැකිතාක් විමසිලිමත් වන ලෙස ආපදා කළමණාකරණ සහකාර අධ්යක්ෂවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
අවදානම් සහිත පවුල් පදිංචි ස්ථානවලින් තාවකාලිකව ඉවත් කිරීම හා අවතැන්වූවන්ට සහන සැලසීම මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය මත සිදුවන බව ද සහකාර අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා කීවේය.