අන්තර් ආගමීක සංහිඳියාව ගොඩනංවන්න “මොඩියුලයක්”

 
බහු ආගමීක ජනගහනයක් ඇති රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගම් හතර නාභිගත කරමින්  කරිටාස් ශ්‍රී ලංකා සෙඩෙක් ආයතනය සහ කරිටාස් සෙත්සරණ කොළඹ පදවි මානව සංවර්ධන ආයතනය එක්ව ආගම් අතර සංහිඳියාව ගොඩනැංවීමෙහිලා පුහුණු කිරීමේ මොඩියුලයක් සමාජගත කළේය.
 

කරිටාස් ශ්‍රී ලංකා ආයතනය විසින් ප්‍රකාශයට පත්කර “අන්තර් ආගමික  සංහිඳියාව  – පුහුණුකිරීමේ  මොඩියුල” වශයෙන් නම්කර ඇති මෙම කුඩා අත්පොත,  ප්‍රමුඛ රංග චිකිත්සකයෙක් වන ආචාර්ය රවීන්ද්‍ර රණසිංහ විසින් සම්පානදනය කර ඇති අතර , පසුගිය සිකුරාදා – (ඔක්තෝබර් 27) කරිටාස් ශ්‍රී ලංකා ආයතනයේදී ජනගත කෙරිණී.


මොඩියුල 
19කින් සමන්විත මෙකී අත්පොත නිල වශයෙන්, මෙම අවස්ථාවට සහභාගී වූ අය අතරින් , අධ්‍යාපන ආයතනයේ ආගම් හා සාරධර්ම පිළිබඳව  කටයුතුකරන ඇන්ටන් සුධාරක පියතුමන් , කොළඹ අගරදගුරු පදවි අන්තර් ආගමීක සහජීවන වැඩසටහන් අධ්‍යක්‍ෂක ලෙස්ටර් විජේසුරීය පියතුමන් , කොළඹ පදවි දහම්පාසැල් අධ්‍යක්‍ෂක දිනේෂ් පියතුමන් , ඇතුලුව බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් එච්. එන්. කුමාරි, බෞද්ධ ආගමීක කටයුතු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් සිරිබන්ධන, මුස්ලිම් ආගමීක හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ඉෂඩ් ෆයිසාල් , හින්දු ආගමීක හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක  අනිරුක්තරන් , ක්‍රිස්තියානි හා ආගමීක කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂිකා චතුරි පින්තු යන අය වෙත ප්‍රදානය කරන ලදී.
අන්තර් ආගමීක සංහිඳියාව හුදකලා වී ගොඩනැගිය හැකි කාර්යයක් නොවන බව පැවසූ කරිටාස් ශ්‍රී ලංකා ආයාතනයේ තිරසාර සාමය හා යුක්තිය පිළිබඳ කොමිසමේ ප්‍රධානී දීපා ප්‍රනාන්දූ පැවදි සොයුරිය, ඒ සඳහා කොළඹ පදවි සෙත්සරණ ආයාතනය මෙන් ම ලංකාව පුරා අනෙකුත් පදවිවල කරිටාස් ආයතන හා සම්බන්ධ වෙමින් සියලුම දෙනාගේ දායකත්වය සමගින් මෙම කර්තව්‍ය ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව පැවසීය. 
 
මෙතෙක් මෙරට තුළ සාමය ප්‍රවර්ධනය කිරීමෙහිලා දියත්කළ විවිධ කාර්යයන් තුළින් ලබාගත් අත්දැකීම් ද, විවිධ පර්යේෂණ තුළින් ද, පර්යේෂණ ග්‍රන්ථ, පත්‍රිකා, අන්තර් ආගමීක සංහිඳියාව පිළිබඳ වෙනත් රටවල අත්දැකීම් භාවිතා කරමින් ඉතාම පර්යේෂණාත්මකව සහ විද්‍යාත්මකව මෙම මොඩියුල සකස්කර ඇති බව, මොඩියුල  පිළිබඳව හඳුන්වා දෙමින් දීපා ප්‍රනාන්දූ පැවදි සොයුරිය කීවේය.
බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.එන්.කුමාරි සිය දේශනයේදී මෙම වැඩසටහන ඉදිරියේදී සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශයේ සහයෝගය ලබා දෙන බවට බලාපොරොත්තුවක් දුන්නේය.

මෙවැනි වටිනා මොඩියුලයක් හඳුන්වා දීමට කරිටාස් ශ්‍රී ලංකා මූලිකත්වය ගෙන කටයුතු කිරීම සම්බන්ධයෙන්  ඇය ප්‍රශංසා කළ අතර, විවිධ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු ක්ෂේත්‍ර නිලධාරීන්ට අන්තර් ආගමික සුහදතාවයේ ඇති අවශ්‍යතාවය සහ වැදගත්කම පැහැදිලි කිරීමේ වැදගත්කම අවධාරනය කළේය.
 
මෙම මොඩියුලයෙන් යහපත්, ඵලදායි ප්‍රතිඵල ලබා ගැනීමේ හැඟීමෙන් බිම් මට්ටමට ගෙන යාමට කැපවූ කණ්ඩායමක් නිර්මාණය කරන ලෙසට අතිරේක ලේකම්වරිය විසින් කරිටාස් ශ්‍රී ලංකා වෙත යෝජනා කළ අතර, වඩාත් යහපත් , ඵලදායි ප්‍රතිඵල ලබා ගැනීමට නම් මෙම වටිනා මොඩියුල භාවිත කර ඉහළ සිට පහළට ප්‍රධාන මොළ සේදීමක් කළ යුතු බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
 
පොත් පිංච එළිදැක්වීමේ උත්සවයේදී ආචාර්ය රවීන්ද්‍ර රණසිංහ මහතා ප්‍රකාශ කළේ මෙම මොඩියුල 19 තුළින් වෙනත් ආගමකට, වෙනත් පුද්ගලයෙකුට සහ ප්‍රජාවකට සංවේදී වීමට මා කෙතරම් හැකියාවක් තිබේද යන්නත්, මගේ අභ්‍යන්තරය තුළ මා විවෘතද යන්නත් අපට පෙන්වා දෙන බවයි.

“මේ රටේ සුව නොවුණු තුවාලයකට සාත්තු කරනවා ඇරෙන්න, මානසික කම්පන කළමනාකරණය කරන්න ශ්‍රී ලංකා රජය ඇතුළු කිසිම ආයතනයකට උනන්දුවක් නැහැ. ඒ ගැන දැනුමක් නැහැ. මතුපිටින් ගොඩක් කතා කළත් ඔබලා එහෙම කරන්නේ නැහැ. චිත්තවේගීය කම්පනය කළමනාකරණය කිරීමට පියවර ගන්න, එසේ නොකර කිසිදු වැඩසටහනකින් පලක් නැත.” ඔහු කීවේය.  .

අනාගත පරපුරට සදාකාලික බලපෑමක් ඇති කරමින් කුඩා කල සිටම මෙම වටිනාකම් ඇති කිරීම දැන්වත් ආරම්භ කළ යුතු යැයි සඳහන් කළ ආචාර්ය රවීන්ද්‍ර, මෙම මොඩියුල පාසල් විෂයමාලා, දහම්පාසල් සහ ගුරු පුහුණු වැඩසටහන්වලට සහ නිවෙස්වලට පවා ඒකාබද්ධ කිරීම වෙනුවෙන් පෙනී සිටින ලෙස ඔහු සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.
 
බොහෝම අතලොස්සක් කතෝලිකයින් වෙසෙන ශ්‍රී ලංකාවේ සියලුම දෙනා සමගියෙන් හා සතුටින් ජීවත් වීමට අවශ්‍යකරන පදනම නිර්මාණය කිරීම කරිටාස්  ආයතනයේ අභිප්‍රාය බව සඳහන් කළ කරිටාස් අධ්‍යක්‍ෂක ලූක් නෙල්සන් පියතුමා, වසර ගණනාවක් තිස්සේ විශාල වෑයමක් දරමින් ආයතන 13ක් ඔස්සේ දිස්ත්‍රික්ක 25ම ආවරණය කරමින් රට තුළ සාමය එකමුතුකම ගොඩනගන්නට කරිටාස් ආයතනයේ  තිරසර සාමය හා සාධාරණය පිළිබඳ කොමිසම මගින් විවිධ ව්‍යාපෘති ඔස්සේ රටපුරා සෙසු ආගමීක නායකයින් ද සම්බන්ධකර ගනිමින් ක්‍රියා කර ඇති බව ප්‍රකාශ කළේය.
 
“බහුතරයක් බෞද්ධ ජනතාව වෙසෙන ශ්‍රී ලංකාවේ සෙසු ආගමීකයින් ද සමග ජීවත්වෙද්දී විටෙන් විට ගැටීම් ඇති කිරීම්, අන්තවාදී ක්‍රියා තුළින් සාමය , සහජීවනය බිඳ දමන්නට උත්සාහා දරා තිබෙනවා. එය දැනුත් සිදූවෙනවා. ඒ නිසා  අන්තර් ආගමීක සහජීවනය ගොඩනැගීම , තවත් ශක්තිමත් කිරීම කරිටාස් අපගේ පරම යුතුකමක් කියා අපි හිතුවා” යැයි ලූක් නෙල්සන් පියතුමා ප්‍රකාශ කළේය.
 
ඒ සඳහා, කරිටාස් ශ්‍රී ලංකා ආයතනය විසින් ගනු ලබන උත්සාහය තවත් ගැඹුරු කරමින් , ව්‍යාප්ත කරමින් ආගම් අතර සුහදතාවය වර්ධනය කරන්නට ප්‍රයෝජනයට ගතහැකි විශේෂිත අත්පොතක් හඳුන්වා දෙන්නට කරිටාස් ශ්‍රී ලංකා ආයතනය තීරණය කළ බවත් , එය “අන්තර් ආගමීක සංහිඳියාව පුහුණු කිරීමේ මොඩියුලය” වශයෙන් මෙසේ සමාජ ගතකරන බවත් ප්‍රකාශ කළේය.
 
එමෙන්ම, මේ රටේ ආගමීක සහජීවනය ඇතිකරන්නට නම් සියලුම ආගමීක නායකයින් එකට පෙළ ගැසෙන්නට අවශ්‍ය යි. සියලුම ආගමික නායකයින් එකට එකතුවෙන දිනක පමණක් මේ රටේ සමගිය, සාමය, සමාදානය , සෞභාග්‍ය ගොඩනැගී ඉදිරියට යන්නට හැකි වෙයි” යනුවෙන් ලූක් නෙල්සන් පියතුමා වැඩිදුරටත් කීවේය.
කරිටාස් සෙත්සරණ අධ්‍යක්‍ෂක නිලන්ත හේෂාන් පියතුම සහ සහය අධ්‍යක්‍ෂක ප්‍රසාද් රංගන පියතුම මෙම අවස්ථාවට සහභාගී වූහ. 
– මෙලනි මානෙල් පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *