උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර 10ක් අද උදෑසන අවලංගුයි – හිරුණි ලක්ෂිකා
පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය තවදුරටත් සීමා වී ඇති අතර මේ හේතුවෙන් අද පෙරවරුවේ දුම්රිය ගමන්වාර 10ක් පමණ අවලංගු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙම තත්ත්වය හේතුවෙන් කොළඹ සිට ධාවනය වන දුම්රිය රඹුක්කන දක්වාත්, බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රිය පේරාදෙණිය දක්වාත් සීමා කෙරුණා.
ගතවූ දින තුන තුළ උඩරට මාර්ගයේ පමණක් අවලංගු වූ මුළු දුම්රිය ගමන් වාර ගණන 42ක්.
මේ අතර, දැදුරු ඔය ද්‍රෝණිය ආශ්‍රිතව අධික වැසි පතිත වීම හමුවේ ඒ අවට පහත් බිම් සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම අද මධ්‍යාහ්න 12.00 දක්වා තවදුරටත් දීර්ඝ කිරිමටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.
එසේම කැලණි, කළු, ගිං, අත්තනගලූ ඔය, මහ ඔය සහ නිල්වලා ගංගා ද්‍රෝණිවල තවදුරටත් ජල මට්ටම ඉහළ මට්ටමක පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
වර්ෂාපතනයත් සමග තබ්බෝව, දැදුරුඔය, අංගමුව, අලිකොටආර, කලාවැව සහ රාජාංගනය ජලාශයේ වාන් දොරටු ද තවදුරටත් විවෘතව පවතිනවා.
එසේම, පවතින අයහපත් කාලගුණයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දිස්ත්‍රික්ක 11කට නිකුත් කළ නායයෑම් පිළිබඳ අනතුරු ඇගවීම් තවදුරටත් බලාත්මකයි.
