පළාත් සභා මැතිවරණය ලබන වසරේ අනිවාර්යෙන්ම පවත්වනවා අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත (මොහොමඩ් ආසික්)
පළාත් සභා මැතිවරණය ලබන වසරේ කුමන හෝ ක්‍රමයකට අනිවාර්යෙන්ම පවත්වන බව කෘෂිකර්ම ඉඩම් වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා කීය.
මහනුවර දී අද 15 පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා මෙසේද කීය.
‘පළාත් සභා කල් දැම්මේ කලින් තිබ්බ පාර්ලිමේන්තුවෙන්. අලුත් ඡන්ද ක්‍රමයක් ගේන්න ඕන කියල තමයි පළාත් සභා කල් දැම්මේ. ලෝකයේ කෙහේවත් නැතිව ඇති අලුත් ඡන්ද ක්‍රමයක් ගේනව කියල තියෙන ඡන්ද ක්‍රමය නවත්තලා ඡන්දය නොතියා ඉන්න ක්‍රමයක්. තියන ඡන්ද ක්‍රමයට ඡන්දය තියමින් තමයි අලුත් ඡන්ද ක්‍රමයක් සකස් කළ යුතුව තියෙන්නේ. ඒ නිසා පළාත් සභාවල ක්‍රියාකාරිත්වය සඳහා ජනතා නියෝජිතයින් පත් කර ගැනිමේ නොහැකියාවක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි දැන් තීරණයක ඉන්නවා ලබන අවුරුද්දේ පළාත් සභා ඡන්දය තියන්න. එක්කෝ අලුත් ඡන්ද ක්‍රමය හදල තියෙනවා .එහෙම් නැත්තම් පාර්ලිමේන්තුවේ සම්මත කළ එක වෙනස් කරලා පරණ ක්‍රමයටම ඡන්දය තියන්න අපි පියවර ගන්නාවා. අපට 159 ක බලයකුත් තියෙනවානේ.ඔය දෙකෙන් එකක් ලබන අවුරුද්දේ අනිවාර්යෙන්ම කෙරෙනවා.
සමගි ජන බලවේගය ගන්න තීරණ එතුමලට ස්වාධීනව ගන්න පුළුවන්. ඒක අපට ප්‍රශ්නයක් නෙවෙයි. අපට එහෙම අවශ්‍යතාවයක් නෑ. පළාත් සභා ඡන්දය ජයග්‍රහණය කිරීමට අපට ශක්තිමත් අපේක්ෂක ණ්ඩායම් ඉදිරිපත් කරන්න පුළුවන් කම තියෙනවා.එතුමලට එහෙම ශක්තිමත් කට්ටියක් ඉදිරිපත් කරන්න ඉතිරි වෙලා නැති නිසා වෙන්න ඇති දැනට පාර්ලිමේන්තුවේ ඉන්න කීප දෙනෙකු වත් ඉවත් කර ගෙන පළාත් සභා ඡන්දයට ඉදිරිපත් කරන්න හදන්නේ. අපට නම් ඒකේ ප්‍රශ්නයක් නෑ. අපිට ඕවගෙන් අභියෝගයක් නෑ. අපට අභියෝගයක් නැත්තේ මේ නිසා. විධායක ජනාධිපති හොඳින් ක්‍රියාත්මක වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 යම රට තුල ඉතා හොඳින් වැඩ කර ගෙන යනවා. ප්‍රාදේශිය සභා නගර සභා බහුතරයක් අපි ජයග්‍රහණය කරල තියෙනවා. ඒවාගේ කටයුතු හොඳින් සිද්ධ වෙනවා. අපි අලුත් දේශපාලන සංස්කෘතියක් මේ රට තුල ස්ථාපිත කරල තියෙනවා. අවුරුදු 76 ක් තිබුණු දේශපාලන සංස්කෘතිය අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නෑ. හොරකම් වංචා දුෂණ නාස්තිය අපරාධ පාතාලයත් එක්ක සම්බන්ධතා කුඩු ජාවාරම් කරුවන් එක්ක සම්බන්ධතාවලින් ගහන තත්වයක් තමයි තිබුණේ. ඒවට ඇති දේශපාලන සම්බන්ධතා හෙළි වෙමින් තිබෙනවා. ජනතාවට හොඳ අවබෝධයක් තියෙනවා ජාතික ජන බලවේගය ආණ්ඩුවත් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනත් ඉතා හොඳින් වැඩ කටයුතු සිදු කරන බව. එවැනි වට පිටාවක් තුල විපක්ෂයේ සුන්බුන් ඔක්කොම එකතු වුණා කියලා අපට අභියෝගයක් ඇත්තේම නෑ. ජනතාවත් සූදානමින් ඉන්නවා පළාත් සභා ඡන්දයක් තියෙනවා කියන එකත් එක්ක ආණ්ඩුවේ වැඩ ඉදිරියට ගෙන යන්න අවස්ථාව ලබා දෙන්න යැයිද කීය.
