මැනුම් විද්‍යා උපාධිධාරියෙකු, පිළිගත් වෘත්තියෙකු බවට පත් කිරීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක්
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මැනුම් විද්‍යා උපාධිධාරීන්ට, ඉඩම් මැනුම් සභාවේ ලියාපදිංචි වෘත්තිකයෙකු බවට පත් වීමට සහ රාජ්‍ය සේවයට ඇතුළත් වීමට ඇති ක්‍රමවේදය විධිමත් කිරීම වෙනුවෙන් සාකච්ඡාවක් ඔක්තෝබර් 07 වන දින පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි.
ඒ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
සබරගමුව විශ්වවිද්‍යාලයීය භූ විඥාපන පීඨයෙන් වසරකට සියයකට අධික විද්‍යාර්ථීන් ප්‍රමාණයක් මැනුම් විද්‍යා උපාධිය හිමි කර ගන්නා අතර, අදාළ උපාධිධාරීන් පිළිගත් වෘත්තිකයින් බවට පත් වීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව යටතේ වසර තුනක ප්‍රායෝගික පුහුණුවක් ද සම්පූර්ණ කිරීම දැනට පවතින ක්‍රමවේදයයි. වසර ගණාවක් පුරා මෙම පුහුණුව සඳහා විධිමත්ව බඳවා නොගැනීම පිළිබඳව ද පුහුණුවේ දී විද්‍යාර්ථීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර ඒ සඳහා කඩිනම් මැදිහත් වීම් සිදු කිරීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව එකඟතාව පළ කළේ ය.
වසර හතරක අධ්‍යයන කාල සීමාවකින් පසු වසර තුනක ප්‍රායෝගික පුහුණුව යනු සාපේක්ෂ ව දීර්ඝ කාලයක් වන බැවින්, ඉන් විද්‍යාර්ථීන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු අවම කිරීම සඳහා ඉඩම් මැනුම් සභාවේ ඉගෙනුම් ඵල සමඟ විශ්වවිද්‍යාලයේ විෂය නිර්දේශය ගැළපීම සුදුසු බව මෙම සාකච්ඡාවේදී යෝජනා වූ අතර අදාළ ක්‍රියාවලිය සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට ද එකඟතාව පළ විය.
මේ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, සබරගමුව විශ්වවිද්‍යාලයේ භූ විඥාපන පීඨයේ පීඨාධිපති ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය මෙන් ම ශිෂ්‍ය නියෝජිතයින් ද එක් විය.
