ළමුන් සදහා ආරක්ෂිතව සාක්ෂි දීමේ ක්‍රමවේදයක්
ළමුන් සදහා ආරක්ෂිතව සාක්ෂි දීමේ සාක්ෂි කාමර ස්ථාපිත කිරීම මෙරට අධිකරණ පද්ධතියේ හැරවුම් ලක්ෂයක් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ ( 17) මහනුවරදී පැවති ප්‍රචණ්ඩත්වයට ගොදුරුවු වින්දිත දරුවන් වෙනුවෙන් සේවාවන් විධිමත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමේ අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමිනි. වින්දිතයින් බවට පත් වන දරුවන්ට ආරක්ෂිතව සාක්ෂි ලබාදිය හැකි ඩිජිටල් පහසුකම් සහිත සාක්ෂි කාමරයක් මහනුවර මහාධිකරණය තුළ විවෘත කිරීමද මීට සමගාමිව සිදු විය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, යුනිසෙෆ් සහ යුරෝපා සංගමයේ සහාය ඇතිව යුක්තිය සදහා සහාය ව්‍යාපෘතිය විසින් ( JURE) මේ සදහා සහාය දක්වනු ලබයි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා;
ළමුන් සදහා ආරක්ෂිතව සාක්ෂි ලබාදීමේ සාක්ෂි කාමර ස්ථාපිත කිරීම මෙරට අධිකරණ පද්ධතියේ හැරවුම් ලක්ෂයක් බව සඳහන් කළ යුතුයි. වින්දිතයින් බවට පත්ව නීතිය ඉදිරියට එන දරුවන්ට ආරක්ෂිතව සාක්ෂි ලබාදීමේ හැකියාව පැවතිය යුතුයි. වින්දිතයින් බවට පත්වන දරුවන්ට ආරක්ෂිතව සාක්ෂි ලබාදිය හැකි ඩිජිටල් පහසුකම් සහිත සාක්ෂි කාමරයක් මහනුවර මහාධිකරණය තුළ විවෘත වන්නේ මෙරට පළමු වරටයි. දිවයින පුරා අධිකරණ වෙත මෙම පහසුකම් හඳුන්වාදීමට කටයුතු කරනවා. ඒ වෙනුවෙන් පහසුකම් ලබාදුන් යුරෝපා සංගමයට, යුනිසෙෆ් ආයතනය ඇතුලු සංවිධානවලට ස්තූතිවන්ත විය යුතුයි.
ළමුන්ට සුරක්ෂිත රටක් උරුම කරදීම වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණක් බව සදහන් කළ යුතුයි. ළමා ආරක්ෂණය වෙනුවෙන් ශක්තිමත් නව නීති ඉදිරියේදී හදුන්වාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.
යම්කිසි සිදුවීමක් පොලීසියට, උපකාරක සේවාවලට හෝ වෙනත් ආයතන වෙත වාර්තා කළ මොහොතේ සිට ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් දරුවන් අඛණ්ඩව රැකවරණ යාන්ත්‍රණය සමඟ සම්බන්ධ වන තෙක් කඩිනම් සහ ළමා හිතකාමී සහාය ලබාදීම මෙම විධිමත් ක්‍රියාවලියේ අරමුණයි.
මෙම පහසුකම් තුළින් වින්දිතයින් බවට පත්වන දරුවන්ට අධිකරණ පරිශ්‍රය තුළ වෙනම කාමරයක සිට සාක්ෂි ලබාදීමට ඉඩ සලසයි. එමඟින් දරුවෙකුට අපරාධකරුවන් සමඟ සෘජුව මුහුණට මුහුණ හමු නොවීම තුළින් එම ආරක්ෂාව සැලසෙන අතර, දරුවාට මුහුණදීමට සිදුවන කම්පනය අවම කරයි.
ප්‍රචණ්ඩත්වයට ලක් වු දරුවන් සදහා මෙම සේවාවන් හදුන්වාදීම, දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම, පිළිබඳ 2024 බොගෝටා සමුළුවේදී ශ්‍රී ලංකාව ලබාදුන් පොරොන්දුවලින් එකකි.
