ක්ෂණිකව රුපියල් ලක්ෂ 13ක වන්දියක් ලැබුණු ලංගම බස් අන – හිරුණි ලක්ෂිකා
කුරුණෑගල සිට කතරගම බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ ලොරියක් ගැටී සිදුවූ අනතුරකදී රුපියල් ලක්ෂ 13 ක වන්දියක් ක්ෂණිකව ගෙවීමේ සිදුවීමක් වාර්තා වෙනවා.
කතරගම ඩිපෝවට අයත් මෙම බස් රථය කුරුණෑගල සිට කතරගම බලා ධාවනය වන අතරේ සැප්තැම්බර් 01 වන දා අලුයම 05.00ට පමණ ඇතිලිවැව සතිපොළ අසල මාර්ගය අයිනේ නවතා ඇත්තේ මගීන් කිහිප දෙනෙකු බැසයාම සඳහායි. මෙම අවස්ථාවේදී කොන්දොස්තරවරයා විසින් බස් රථයේ ඩිකියේ තිබූ ගමන් මලු මගීන්ට භාරදෙමින් සිට තිබෙනවා.
එම අවස්ථාවේදී වැල්ලවාය දෙසින් වේගයෙන් පැමිණි සහල් පටවාගත් කන්ටේනර් ලොරි රථයක් මෙලෙස බස් රථයේ පිටුපස ගැටී තිබෙන අතර, ඉන් බස් රථයට බරපතළ හානි සිදුවී ඇත. කොන්දොස්තරවරයා මෙම අනතුරින් දිවි ගලවාගෙන ඇති අතර එක් මගියෙකුට පමණක් සුළු තුවාල සිදුවූ බව සඳහන්.
අනතුරින් පසුව බස් රථය සහ ලොරි රථය කුඩාඔය පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇති අතර, හානිය පිළිබඳ තක්සේරු නිලධාරියෙකු විසින් සිදුකළ තක්සේරුවකින් පසුව මෙම එකඟතාවයට පැමිණ තිබෙනවා.
කතරගම ඩිපෝව සඳහන් කරන්නේ, නඩු මාර්ගයට නොගොස් හානි ප්‍රතිපූරණය කරගැනීමට ලංගම ඩිපෝ සඳහා ප්‍රතිපාදන ඇති බවයි. ඒ අනුව අනතුර සිදුවූ ප්‍රදේශයට අදාළ ඩිපෝව වන වැල්ලවාය ඩිපෝවට පැමිණි ලොරියේ හිමිකරු විසින් රුපියල් ලක්ෂ 13 ක මුදලක් වන්දි ලෙස ගෙවා තිබෙනවා.
මේ වන විට හානි වූ බස් රථය අලුත්වැඩියා කෙරෙමින් පවතින බවයි කතරගම ඩිපෝව වැඩිදුරටත් සඳහන් කළේ.
