පුරාවිද්‍යා බිමක ඛනිජ කැණීම් ජාවාරමක් පොලිස් අත්අඩංගුවට!

වනාතවිල්ලුව ආරුවක්කාරු හි රජයට අයත් පුරාවිද්‍යා වටිනාකමකින් යුතු භූමියක් තුළ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ නිසි අවසරයක් නොමැතිව, පුරාවිද්‍යා නීති රීති උල්ලංගණය කරමින් යන්ත්‍ර සූත්‍ර භාවිත කරමින් ඉල්මනයිට් ඇතුලු වටිනා ඛනිජ ද්‍රව්‍ය කැණීම, සැකසීම හා ගබඩා කිරීම සම්බන්ධයෙන් පුද්ගලික සමාගමක ඉදිකිරීම් කටයුතු නතර කර එහි තිබූ යන්ත්‍රසූත්‍ර රැසක්, වාහන සහ ඉදිකිරීම් ද්‍රව්‍ය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස්පතිවරයාට ලද තොරතුරක් මත ඔහුගේ සෘජු අධීක්ෂණය යටතේ වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පසුගිය 9 දා මෙම වැටලීම සිදුකර තිබේ.
අදාළ කැණීම් සමාගම විසින් මෙම භූමිය තුළ මහා පරිමාණ ජලාශ දෙකක් ඉදිකරමින් ජලය පිරවීමට කටයුතු කර ඇති අතර ඊට අමතරව විල්පත්තුව අභයභූමියට යාබදව පිහිටි භූමිය තුළ ද පරිසර විනාශයක් සිදු කරමින් තවත් ජලාශ තුනක් ද මේ වන විට සකස් කරමින් සිට ඇති බව පොලීසිය පවසයි.
අදාළ සමාගමට 2019 වසරේ දී ඛනිජ ගවේෂණය සඳහා පමණක් අවසරය ලබා දී ඇති අතර කැණීම් කටයුතු සඳහා අවසර ලබා දී නොමැති බවයි පැවසෙන්නේ.
අක්කර 20ක් පුරාවට සිදුකරන මෙම කැණිම් කටයුතු සිදුකළ යන්ත්‍ර සූත්‍රවල වටිනාකම කෝටි 200කට අධික බව පැවැසේ. මීට අමතරව මෙම කැණීම් ප්‍රදේශයේ තිබූ වසර සිය ගණනක් පැරැණි කළුවර, බුරුත ආදී වටිනා වෘක්ෂද කපා විනාශ කර ඇති බවත් වාර්තා වේ.
මෙම භූමියේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කර ඇති අතර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
END/MMP/10082025