ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග හා තෙල් ටැංකි ව්යාපෘති ජනාධිපති ප්රධානත්වයෙන් අද ඇරඹේ
ශ්රී ලංකාවේ ගුවන් ඉන්ධන සැපයුම් ආරක්ෂාව තහවුරු කිරීම, සැපයුම් හා ප්රවාහන පිරිවැය අවම කිරීම සහ අනාගත ගුවන් ඉන්ධන ඉල්ලුම සපුරාලීම අරමුණු කරගනිමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ක්රියාත්මක කරන ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්යාපෘතිවල සමාරම්භය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් සහ වරාය හා සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතාගේ සහභාගීත්වයෙන් සිකුරාදා (02) ආරම්භ කෙරෙන බව බලශක්ති අමාත්යංශය සඳහන් කරයි.
බලශක්ති ක්ෂේත්රයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ රජයේ ජාතික ඉලක්කයට සමගාමීව මෙම ව්යාපෘති ක්රියාත්මක කෙරේ.
මෙරට ගුවන් සේවා ක්ෂේත්රයේ අනාගත ඉල්ලුම සාර්ථකව සපුරාලීම සඳහා මුතුරාජවෙල සහ කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළ සම්බන්ධ කරමින් ගුවන් යානා ඉන්ධන සැපයීම සඳහා වෙන් වූ විශේෂ නළ මාර්ගයක් සහ ඊට සම්බන්ධ ටැංකි සංකීර්ණයක් ඉදිකිරීමට නියමිතය.
ඒ අනුව ඝන මීටර් 92,000ක සමස්ත ධාරිතාවකින් යුත් නව ජෙට් A-1 ඉන්ධන ටැංකි පහක් ඉදිකිරීමට නියමිත අතර, ඒ සඳහා ඝන මීටර් 30,000 බැගින් වූ විශාල ටැංකි දෙකක්, ඝන මීටර් 15,000 බැගින් වූ මධ්යම ප්රමාණයේ ටැංකි දෙකක් සහ ඝන මීටර් 2,000ක ධාරිතාවකින් යුත් අතිරේක ටැංකියක් (Product Downgrade Tank) ඇතුළත් වේ.
මුතුරාජවෙල ටැංකි සංකීර්ණයේ සිට කිලෝමීටර් 21ක් දිගින් සහ අඟල් 10ක විෂ්කම්භයකින් යුත් භූගත නළ මාර්ගයක් ඔස්සේ කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළ වෙත ඉන්ධන සැපයුම් පද්ධතිය සම්බන්ධ කෙරෙන අතර, එහි ඉදිකිරීම් මාස 30ක කාලයක් තුළ නිම කිරීමට අපේක්ෂිතය.
මුතුරාජවෙල පර්යන්තයෙන් ආරම්භ වන මෙම භූගත නළ මාර්ගය කෙරවලපිටිය මාර්ගය, ගුණසේකර මාවත, කොළඹ–කටුනායක අධිවේගී මාර්ගය, ලලන්ත ගුණසේකර මාවත සහ කොළඹ–පුත්තලම A3 මාර්ගය ඔස්සේ ජාඇල ප්රදේශය හරහා කටුනායක බණ්ඩාරනායක පර්යන්තය වෙත ළඟා වේ.
දැනට පවතින මාර්ගගත බවුසර් සහ දුම්රිය ටැංකි ගැල් මත රඳා පවතින ඉන්ධන ප්රවාහන ක්රමවේදය වෙනුවට මෙම නළ මාර්ග පද්ධතිය ක්රියාත්මක කිරීමෙන් ඉන්ධන හැසිරවීමේ හා ප්රවාහන වියදම් සැලකිය යුතු ලෙස අඩු කරගැනීමට හැකි වනු ඇත.
එමෙන්ම එක් වරකට මෙට්රික් ටොන් 40,000 බැගින් වූ විශාල ඉන්ධන තොග ආනයනය කිරීමට හැකිවීම හේතුවෙන් නාවික ප්රවාහන ගාස්තු සහ වරාය ගාස්තු ද අඩු කරගැනීමට හැකි වනු ඇත.
මාර්ග තදබදය සහ ප්රවාහන සීමා හේතුවෙන් සිදුවිය හැකි ප්රමාදයන් මෙන්ම ඉන්ධන ප්රවාහනයේදී සිදුවන ඉන්ධන දහනය හේතුවෙන් ඇතිවන පාරිසරික දූෂණය අවම කිරීමට ද මෙම ව්යාපෘතිය මඟින් දායකත්වය සැලසේ.
කොළොන්නාව සහ කටුනායක අතර මාර්ග තදබදය අවම කරමින් හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට දායක වන මෙම ව්යාපෘතිය, පැරිස් ගිවිසුම යටතේ ශ්රී ලංකාව අපේක්ෂා කරන ජාතිකව නිර්ණය කළ දායකත්ව (NDC) ඉලක්ක සපුරා ගැනීමට ද දායක වනු ඇත.
තවද නළ මාර්ගවල අභ්යන්තර හා බාහිර ආරක්ෂිත ආලේපන යෙදීම, ස්වයංක්රීය කාන්දුවීම් හඳුනාගැනීමේ පද්ධති, නළ අභ්යන්තරය පරීක්ෂා කිරීම සඳහා ‘Intelligent Pigging’ තාක්ෂණය, අතරමැදි කපාට ස්ථාන සහ විඛාදනය වැළැක්වීමේ කැතෝඩීය ආරක්ෂණ ක්රමවේද ඇතුළු නවීන ආරක්ෂණ විධිවිධාන රැසක් ද මෙම ව්යාපෘතිය යටතේ ක්රියාත්මක කිරීමට නියමිතය.
