හදිසි අපදා තත්වයක් ,ගංවතුර ,මෙය පෙරහුරුවක් – ප්‍රසාද් පුර්ණමාල්

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ ජාතික ආපදා පෙරහුරු වැඩසටහනක් ඊයේ දවස පුරා බිංගිරිය හැටුලාව ප්‍රදේශයේදී පැවැත්විණි.

දැදුරු ඔය ආශ්‍රිතව හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිවුවහොත් ජනතාව මුහුණදිය හැකි ආපදා තත්ත්වයන් අවම කර ගැනීම සහ එවැනි අවස්ථාවක ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී ප්‍රායෝගික පෙරහුරුවක් සිදු කෙරිණි.

ආපදා තත්ත්වයකදී ජනතාව පෙර සූදානම් කිරීමේ සිට ඔවුන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීම, මුදාගැනීම සහ සහන කඳවුරු වෙත යොමු කිරීම දක්වා වූ ක්‍රියාදාමයන් ද මෙහිදී පෙරහුරු කෙරිණි.

කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය, බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, බිංගිරිය පොලිසිය සහ රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් ඊට එක්ව සිටියහ. නිකවැරටිය පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සහ ප්‍රදේශවාසීහු ද වැඩසටහනට සහභාගී වූහ.

හදිසි ආපදා තත්ත්වයකදී ආයතන අතර සම්බන්ධීකරණය සහ කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩිදියුණු කිරීම මෙන්ම ආපදා සහන කඳවුරුවල සිටින ළමුන් සහ වැඩිහිටියන්ගේ මානසික තත්ත්වය යහපත් මට්ටමක පවත්වා ගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා සඳහන් කළේ, ආපදා තත්ත්වයකදී ජනතාවගේ භෞතික ආරක්ෂාව මෙන්ම මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීම වැදගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *