ප්‍රාදේශීය තරුණ මාධ්‍යවේදීන් 341කට පුහුණුවක්!

යහපත් මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීමේ අරමුණින් ජාතික තරුණ සේවා සභාව සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කරන ප්‍රාදේශීය තරුණ මාධ්‍යවේදී පුහුණු වැඩසටහන ඊයේ (04) ජාතික තරුණ සේවා සභාවේදී ආරම්භ කෙරිණි.

විවෘත අයදුම්පත් කැඳවීමකින් අනතුරුව දිවයින පුරා සියලුම ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි තෝරාගත් තරුණ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් 341 දෙනෙකු සඳහා මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. වැඩසටහනේ පළමු පුහුණු සැසිය ජනාධිපති මාධ්‍ය උපදේශක සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා විසින් පවත්වන ලදී.

මෙම පුහුණුව සඳහා තෝරාගත් තරුණ තරුණියන්ට ඉදිරියේදී විදෙස් පුහුණු අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන බවත්, දිවයින පුරා ප්‍රාදේශීය මාධ්‍ය ඒකක 340ක් ස්ථාපිත කිරීම මෙම වැඩසටහනේ අවසන් අරමුණ බවත් ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා ශ්‍රී ලංකා තරුණ කටයුතු අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා පැවසීය.

යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීම සඳහා මෙම වැඩසටහන ඵලදායී ලෙස යොදාගැනීමට අපේක්ෂා කරන බවද ඒ මහතා සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පැවසුවේ මාධ්‍යවේදියෙකු යනු හුදෙක් වාර්තාකරුවෙකු පමණක් නොවන බවත්, රටක ඉතිහාසය ලියනු ලබන්නේ මාධ්‍යවේදීන් බවත්ය.

මාධ්‍යවේදී වෘත්තීයභාවයෙන් ඔබ්බට ගොස් සහකම්පනයෙන් යුතු, සියල්ල තුළ මනුෂ්‍යත්වය දකින මාධ්‍යවේදීන් බිහිකිරීමට මෙම වැඩසටහන උපකාරී වනු ඇතැයි අපේක්ෂා කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ජාතික තලයේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් පිළිබඳව ග්‍රාමීය ජනතාව දැනුවත් කිරීම මෙන්ම, ග්‍රාමීය ජනතාව මුහුණ දෙන ගැටලු හා අභියෝග පිළිබඳව ජාතික මට්ටමේ කතාබහක් ඇති කිරීමට මැදිහත්වීමද මාධ්‍යවේදියාගේ වගකීමක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මාධ්‍ය යනු රටක දිශානතිය තීරණය කරන ප්‍රධාන බලවේග පහෙන් එකක් බවත්, එම බලවේගය රට සුබදායී දිශානතියකට රැගෙන යාම සඳහා භාවිත කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

සමාජය සාධනීය තලයකට ඔසවා තැබිය හැකි “නව ගුණාත්මක මාධ්‍යවේදීන්” බිහිකිරීමට මෙම වැඩසටහන උපකාරී වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

පුහුණු වැඩසටහන යටතේ මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ පුළුල් පරාසයක පුහුණු සැසි පැවැත්වීමට නියමිතය. ඒ අනුව ඡායාරූපකරණය, වීඩියෝකරණය, නිවේදනය, පුවත්පත් කලාව, සංවර්ධන සන්නිවේදනය, ඩිජිටල් මාධ්‍ය සහ නව මාධ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි පුහුණුව ලබාදීමට නියමිතය.

END/GONP/MMP/05092026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *