මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට කිසිදු සමාවක් නැහැ – අධිකරණ ඇමති
මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයින්ට කිසිදු සමාවක් ලබාදීමට සූදානම් නොමැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බන්ධනාගාර තුළ හදිසි තත්ත්වයන් ඇතිවුවහොත් කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සහ රැඳවියන්ගේ සුබසාධන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබඳ සාකච්ඡාවකට අද (01) පෙරවරුවේ මහර බන්ධනාගාර පරිශ්‍රයේදී එක්වෙමිනි.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය පසුගිය කාලය තුළ බරපතළ ගැටලුවක්ව පැවති නමුත්, එය විසඳීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අවශ්‍ය බඳවා ගැනීම් සිදුකර ඇති අතර, නිලධාරීන් රාත්‍රී 10 පමණ වන තෙක් රාජකාරියේ නිරත වෙමින් වාර්තා කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
අගෝස්තු මාසය තුළ පමණක් රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවත්, ඉදිරි මාස දෙක තුළ දැනට පවතින සියලුම රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීම රජයේ අරමුණ බවත් අමාත්‍යවරයා පැවසීය.
මහර බන්ධනාගාරයට අදාළව පසුගිය මාසය තුළ රස පරීක්ෂක වාර්තා 500ක් නිකුත් කර ඇති බවද ඔහු සඳහන් කළේය.
වර්තමාන රජය රට තුළ වෙනසක් ඇති කරමින් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට කටයුතු කර ඇති බව පැවසූ අමාත්‍යවරයා, වංචාව සහ දූෂණය තුරන් කිරීම සඳහා ජනවරම ලැබී ඇති බවද ප්‍රකාශ කළේය.
