දිවයින පුරා ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 10 කට මුල්ගල් තැබේ!
මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ නව හැරවුමක් සනිටුහන් කරමින් ජනතාවට වඩාත් සමීප සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම අරමුණු කරගනිමින් ක්‍රියත්මක කරනු ලබන “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” (Health and Wellness Center) 1000 ක් ව්‍යාපෘතිය යටතේ අළුතින් ඉදිකෙරෙන සුවතා මධ්‍යස්ථාන සඳහා මුල්ගල් තැබීම අද (01) නිල වශයෙන් ආරම්භ විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර දකුණ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල් තබමින් මෙහි සමාරම්භය සනිටුහන් වූ අතර, මෙම මධස්ථානය මගින් කළුතර අවට ග්‍රාම නිලධාරී වසම් වල 7000 ක පමණ ජනතාවට සෞඛ්‍ය සේවා සැළසෙනු ඇත.
මෙම සමාරම්භක වැඩසටහනට සමාගමීව අද (01) දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී නව ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 10 ක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමට ද කටයුතු සංවිධානය කර තිබුණි.
ඒ අනුව බලංගොඩ නගරය, මොණරාගල කිඹුලාවල, ගාල්ල අක්මීමණ, හම්බන්තොට ඕමාර, කෑගල්ල දෙහිඕවිට, ගම්පහ සූරියපාළුව, පොලොන්නරුව හිඟුරක්ගොඩ, බදුල්ල ගැමුණුපුර සහ නුවරඑළිය පිටවල යන ප්‍රදේශවල ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන සඳහා ද අද මුල්ගල් තැබීම සිදු කරන ලදී.
මෙම එක් මධ්‍යස්ථානයක් ඉදිකිරීම් කටයුතු සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 50 කි.
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ අද දින ඉදිකිරීම් ආරම්භ කරන ලද කළුතර දකුණ ඇතුළු ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 10 ඉදිකිරීම් කටයුතු දෙසැම්බර් මස වනවිට අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි. එමෙන්ම ඔක්තෝබර් මස වන විට තවත් මධ්‍යස්ථාන 25 ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරෙන බව ද පැවසීය.
දැනට පවතින ළදරු හා මාතෘ සායන ගොඩනැගිලි ඇතුළු රජයේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කර මෙම කටයුතු සඳහා යොදා ගැනීමට පළාත් සභා හරහා මුදල් ලබා දී ඇති බවත්,
මෙම වසරේ මෙම ව්‍යාපෘතියට රුපියල් මිලියන 1500 ක් සහ ලබන වසරේ රුපියල් මිලියන 2000 ක් යොදවන බව ද පැවසීය.
ඒ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 1000 කින් ජනතාවට සෞඛ්‍ය සේවා ලබාදීමට කටයුතු කරන බවත් මේ වන විට ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 39 ක සෞඛ්‍ය සේවා ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා පෙන්වා දුන් අතර, සියළු ආරෝග්‍යා සුවතා මධස්ථාන හරහා නවීන තොරතුරු තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ සෞඛ්‍ය සේවා කටයුතු ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.
පුරවැසියා කේන්ද්‍ර කර ගනිමින් ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන හරහා සිදුකරන සෞඛ්‍ය සේවාව මෙහිදී පැහැදිලි කළ අමාත්‍යවරයා වසර සියයකට පෙර කළුතරින් මහජන සෞඛ්‍ය සේවාව ආරම්භ වූ බවත්, ඒ හරහා විශාල සෞඛ්‍ය ජයග්‍රහණ ළඟාකර ගැනීමට හැකියාව ලැබුන බවද ඒ අනුව වර්තමානයේ සෞඛ්‍ය සේවාවට අභියෝගයක්ව ඇති බවට හදුනාගත් බෝ නොවන රෝග, වැඩිහිටි ජනගහන ඉහළ යාම, මානසික සෞඛ්‍ය ගැටලු, පෝෂණ ඌණතා මෙන්ම සහන සත්කාර සේවා සැපයීම ආදී අභියෝග ජය ගැනීමට පුරවැසියා වෙනුවෙන් වගකියන නව වැඩපිළිවෙලකට අවතීරණ වීමට හැකියාව ලැබී ඇති බව ද පැවසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සංකල්පයක් සහ උපදෙස් මෙන්ම මඟපෙන්වීම යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියත්මක කරනු ලබන
මෙම ව්‍යාපෘතිය යටතේ මෙරට සෞඛ්‍ය පද්ධතියේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා තවදුරටත් ශක්තිමත් කරමින් බෝ නොවන රෝග පාලනයට හා වැළැක්වීමේ සත්කාරයට ප්‍රමුඛත්වය දෙමින් ජනතාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය, රෝග නිවාරණය සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ප්‍රජාව වෙත වඩාත් සමීප කිරීම ද අරමුණු කරේ.
එමෙන්ම ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ප්‍රජා මට්ටමින් කඩිනම් හා කාර්යක්ෂම ප්‍රවේශයක් ඇති කිරීම ද මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණකි.
සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීම සඳහා රෝග සඳහා ප්‍රතිකාර කිරීම පමණක් නොව, රෝග වළක්වා ගැනීම හා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ඇති කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මෙම වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය සහ සර්ව ආගමික පුජකතුමන්ලා, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නන්දන පද්මකුමාර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ප්‍රාථමික සෞඛ්‍ය සේවා (Primary Care Services) අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්. කේ. ඩබ්ලිව්. සරත්චන්ද්‍ර කුමාරවංශ, කළුතර මහ නගර සභාවේ නගරාධිපති ධනුජ් සෝමරත්න, කළුතර දිස්ත්‍රික් ලේකම් එච්. එම්. එස්. පී. හේරත්, කළුතර මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ඩී. එන්. පියුමාලි කුලරත්න, කළුතර ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයේ වෛද්‍ය නිලධාරී බුද්ධික රණවීර, කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ (NIHS) අධ්‍යක්ෂ වෛද්‍ය කේ. නන්තකුමාරන් යන මහත්ම මහත්මීන් මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.
