මුන්නේශ්වරම් ඓතිහාසික ඊශ්වර දේවස්ථානයේ මහ රථ මංගල්‍යය උත්කර්ෂවත් අයුරින් – ප්‍රසාද් පූර්ණමාල්
හලාවත , මුන්නේශ්වරම ඓතිහාසික ශ්‍රී මුන්නේශ්වරම් ඊශ්වර දේවස්ථානයේ වාර්ෂික නිකිණි මංගල්‍යයට අයත් වඩාත් වැදගත් සහ ජනප්‍රිය අවස්ථාවක් වන මහා රථ පෙරහැර හෙවත් මහ රථය ඇදීමේ උත්සවය අද (26) උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
එම අවස්ථාවට සහභාගී වීම සඳහා දිවයිනේ නන් දෙසින් විශාල බැතිමතුන් පිරිසක් මුන්නේශ්වරම් පුදබිම වෙත එක්ව සිටියහ.
පුරා සති කිහිපයක් පුරා පැවැත්වෙන මුන්නේශ්වරම් වාර්ෂික මංගල්‍යය, ශ්‍රී ලංකාවේ හින්දු ආගමික හා සංස්කෘතික උරුමයේ සුවිශේෂී ස්ථානයක් හිමි කරගත් ප්‍රධාන ආගමික මංගල්‍යයකි.
මංගල්‍ය සමයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බැතිමතුන් ඓතිහාසික මුන්නේශ්වරම් දේවස්ථානය වෙත පැමිණෙන අතර, ආගමික භේදයකින් තොරව විවිධ
ජන කණ්ඩායම් මෙම මංගල්‍යයට එක්වීම ද විශේෂත්වයකි.
මෙවර වාර්ෂික මංගල්‍යය ජූලි 31 වැනිදා කොඩි එසවීමේ චාරිත්‍රයෙන් ආරම්භ වූ අතර, අගෝස්තු 19 වැනිදා සිට ප්‍රධාන ආගමික උත්සව සහ පෙරහැර පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. ගිනි මතින් ගමන් කිරීමේ චාරිත්‍රය, අඹ විදීමේ චාරිත්‍රය ඇතුළු විශේෂ ආගමික වතාවත් රැසකින් අනතුරුව මහා රථ පෙරහැර පැවැත්විණි.
දේවස්ථාන මංගල්‍යයේ අතිශය වැදගත් අවස්ථාවක් ලෙස සැලකෙන මෙම මහා රථ පෙරහැර සඳහා මෙවර දේව රථ පහක් එක්ව තිබූ අතර, ආගමික වතාවත්වලින් අනතුරුව දේව රථ පෙරහැර ආරම්භ විය.
රථ ඇදීම සඳහා බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටි අතර, භක්තිය, විශ්වාසය සහ සාම්ප්‍රදායික චාරිත්‍ර රැසක් සමඟ මුන්නේශ්වරම් පුදබිම අද සැදැහැවත් ජන සාගරයක් බවට පත්ව තිබිණි.
වසරක් පුරා බලා සිටින මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගී වීම බොහෝ බැතිමතුන් සලකන්නේ සිය ආගමික භක්තිය ප්‍රකාශ කරන වැදගත් අවස්ථාවක් ලෙසයි. මුන්නේශ්වරම් වාර්ෂික මංගල්‍යය ආගමික උත්සවයක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ සංස්කෘතික විවිධත්වය සහ සහජීවනය විදහාපාන සුවිශේෂී අවස්ථාවක් බවට ද පත්ව තිබේ.
හින්දු, බෞද්ධ, කතෝලික සහ ඉස්ලාම් ආගමිකයන් ඇතුළු විවිධ ජන කොටස් මංගල්‍ය සමයේදී මුන්නේශ්වරම් දේවස්ථානය වෙත පැමිණීම ද මෙහි විශේෂත්වයකි.
