සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘බස් ලලිත්’ දිවයිනට රැගෙන එයි
ශ්‍රී ලංකාවෙන් පලාගොස් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි රතු නිවේදන නිකුත් කර තිබූ බව කියන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලලිත් කන්නන්ගර නොහොත් බස් ලලිත් නැමැත්තාමධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (25) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, 36 හැවිරිදි සැකකරු කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.
2013 වසරේ සිට 2025 වසර දක්වා කාලය තුළ සිදුවූ පුද්ගලයන්ට තියුණු ආයුධවලින් පහරදීම, වෙඩි තැබීම්, මනුෂ්‍ය ඝාතන හා ඝාතන තැත් කිරීම්, දේපළවලට ගිනි තැබීම ඇතුළු අපරාධ සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් මෙම සැකකරු අවශ්‍යව සිටි අයෙකු බව පොලිසිය පවසයි.
ඒ අනුව, 2013 වසරේ හංවැල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කිරීම, 2021 වසරේ නෙළුවත්තුඩුව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකට ඇතුළු වී ලොරි රථයකට ගිනි තැබීම සහ එම ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුකර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
2022 වසරේ හංවැල්ල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී පුද්ගලයන් තිදෙනෙකුට බරපතළ තුවාල සිදු කිරීම මෙන්ම එම වසරේ හරස් පාර, හංවැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන්ද සැකකරුට එරෙහිව විමර්ශන සිදුකර තිබේ.
මීට අමතරව, 2023 දෙසැම්බර් 25 වනදා පාදුක්ක පොලිස් වසමේදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, 2024 මාර්තු 4 වනදා හංවැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ එම වසරේ සැප්තැම්බර් 30 වනදා නෙළුවත්තුඩුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද ඔහු අවශ්‍යව සිට ඇත.
2025 වසරේදී කොස්ගම ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කළ පුද්ගලයන් තිදෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීම, කොල්ලුපිටිය ප්‍රදේශයේදී ටී-56 ගිනි අවියක් හා උණ්ඩ 25ක් සම්බන්ධ සිද්ධියක් සහ මීගොඩ පොලිස් වසමේදී හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන්ද සැකකරු අවශ්‍යව සිටි බව පොලිසිය සඳහන් කරයි.
එමෙන්ම, 2025 අගෝස්තු 13 වනදා මීගොඩ, මුතුහේන පාර ප්‍රදේශයේදී ගිනි අවියකින් අහසට වෙඩි තබා පලායාමේ සිද්ධිය මෙහෙයවීම සම්බන්ධයෙන්ද සැකකරුට එරෙහිව විමර්ශන සිදුකර තිබේ.
මීට අමතරව, සැකකරු සම්බන්ධ බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම්, අනෙකුත් සංවිධානාත්මක අපරාධ සහ නීති විරෝධී ලෙස උපයාගෙන ඇති බවට සැක කෙරෙන වත්කම් සම්බන්ධයෙන්ද ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් සිදුකරනු ලබයි.
