මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවයට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක්

42 වන ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවයට සමගාමීව සංවිධානය කරන වැඩසටහන් මාලාවේ දෙවන දින වැඩසටහන ලෙස රුක් රෝපණ වැඩසටහනක්  අගෝස්තු 23 වන දා, මීගමුව, කාමච්චෝඩ ප්‍රධාන ජුම්මා මස්ජිද පරිශ්‍රයේදී පැවැත්විණි.

ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුළෆ්ෆර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට ඉස්ලාම්, කතෝලික සහ හින්දු ආගම් නියෝජනය කරමින් ආගමික නායකයින් රැසක් සහභාගී වූහ.

ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, මීගමුව නගරාධිපති දුලීප් චාමර, නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් ෆසීර්, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ අෆ්රූස් අහමඩ් මහතා ඇතුළු නිලධාරීන්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීහුද එක්ව සිටියහ.

ශුද්ධ වූ කුරාණ් පාරායනයෙන් අනතුරුව පැවැති වැඩසටහනේදී ආගමික නායකයින් සහ ආරාධිතයින් අදහස් දැක්වූ අතර, ෆරුද් මව්ලවිතුමන් විසින් විශේෂ ආගමික දේශනයක්ද පැවැත්වීය.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුළෆ්ෆර් මහතා සඳහන් කළේ, ඉස්ලාම් ධර්මයට අනුව පැළයක් සිටුවීම මහත් පුණ්‍ය කර්මයක් වන අතර, එමඟින් මිනිසුන්ට මෙන්ම පරිසරයේ ජීවත්වන සතුන්ටද ප්‍රතිලාභ සැලසෙන බවයි.

අනාගත පරපුර වෙනුවෙන් පරිසර හිතකාමී වැඩසටහනක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් කාමච්චෝඩ මස්ජිදයේ දායක සභාවට සිය ප්‍රශංසාව පළ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙවැනි වැඩසටහන් තුළින් ආගමික සහජීවනය මෙන්ම පරිසර සංරක්ෂණයද ශක්තිමත් වන බව පෙන්වා දුන්නේය.

වැඩසටහනේ අවසන් අදියර ලෙස අනාගත පරපුර වෙනුවෙන් සංකේතාත්මක රුක් රෝපණයක් ආගමික නායකයින් සහ ආරාධිතයින්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

END/GONP/MMP/25082026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *