බදුල්ල EDCS වෙතින් දූ දරුවන් 227 කට ලක්ෂ 24 ක ශිෂ්‍යාධාර!
සීමාසහිත අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමුපකාර සකසුරුවම්කම සහ ණය දෙන සමිතියේ (EDCS) බදුල්ල දිස්ත්‍රික් සාමාජික පවුල්වල 2025 පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දූ දරුවන් උදෙසා ශිෂ්‍යාධාර පිරිනැමීමේ විශේෂ උත්සවයක් ඊයේ ( 24) ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
සාමාජිකයන් 12,400 කගෙන් සමන්විත බදුල්ල දිස්ත්‍රික් අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමුපකාර සමිතියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද මෙම උත්සවය, ඌව පළාත් අධ්‍යක්ෂ නිමල් ආරියවංශ මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.
මෙහිදී ශිෂ්‍යත්ව විභාගය විශිෂ්ට ලෙස සමත් වූ දූ දරුවන් 227 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 24 ක මුදල් ශිෂ්‍යාධාර සහ ළමා ඉතුරුම් පොත් පිරිනැමීම සිදු කෙරිණි.
මෙම අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර, බදුල්ල නගරාධිපති නන්දන හපුගොඩ සහ හාලිඇල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත වර්ෂමාන යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, සමිති නියෝජිතයින්, ශිෂ්‍යත්වලාභී දූ දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් විශාල පිරිසක් එක්ව සිටියහ.
