“සරසවි දිරියෝ අභිමන්” දෙවන වැඩසටහන අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී
ශාරීරික සීමාවන් තම අධ්‍යාපන සිහිනවලට බාධාවක් කර නොගත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසු සිසුවියන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන “සරසවි දිරියෝ අභිමන්” සුවිශේෂී ශිෂ්‍යාධාර වැඩසටහනේ දෙවන වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (22) පැවැත්විණි.
මෙම වැඩසටහන යටතේ දැනට ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සියලුම සිසුන් ඇගයීමට ලක් කරන අතර, එක් සිසුවෙකුට රුපියල් ලක්ෂයක එක්වරක් පිරිනමන ශිෂ්‍යාධාරයක් ලබා දීමට ජනාධිපති අරමුදල කටයුතු කරනු ලැබේ.
යාපනය, වව්නියාව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසුන් 76 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක් කෙරුණු අතර, මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලබා ඇති සමස්ත සිසුන් සංඛ්‍යාව 400කට ආසන්න වේ.
ප්‍රතිලාභී සිසුන් අසළට ගොස් ශිෂ්‍යාධාර පිරිනැමීමද මෙහි විශේෂත්වයක් විය.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අබාධ සහිත සිසු සිසුවියන්ට ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම මගින් එම ප්‍රජාව සමාජයට වටිනා සහ අවශ්‍ය ජන කොටසක් බව තහවුරු කිරිමට අපේක්ෂා කරන බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය;
අද දවස අපි සියලු දෙනාටම විශේෂ දවසක්. මා ඉදිරියේ සිටින ඔබ අපිට සුවිශේෂි සිසු දරු දැරියන් පිරිසක්. ඒ ඔබේ ධෛර්යය සහ විශ්වාසය නිසයි. ඔබ ඔබට මුහුණ දීමට සිදු වූ සියලු අභියෝගවලට මුහුණ දී අද මෙතනට පැමිණ තිබෙන්නේ ඒ ධෛර්යය සහ විශ්වාසය නිසයි.
අද ජනාධිපති අරමුදලෙන් මේ සිදු කරන්නේ එම ධෛර්යයට හා විශ්වාසයට උපහාර පුද කිරීමයි. ඔබව දුටූ විට මටත් මෙතනට එන්න පුලුවන් කියලා හිතන්න පුලුවන් සිසු සිසුවියන් දස දහස් ගණනක් තව ඉන්නවා. ඔබ ඔවුන්ට ධෛර්යයක්. මේ උපහාරය තුළින් ඔබ පසු පස තවත් සිසු සිසුවියන් දහස් ගණනක් මෙතනට එනු ඇතැයි අපි විශ්වාස කරනවා.
ඔබ දහසක් දුෂ්කරතාවලට මුහුණ දෙන්න ඇති. ඔබ දුකට පත්වෙන්න ඇති. ඔබව ප්‍රතික්ෂේප වු අවස්ථා ඇති. නමුත් අපි අද මේ වැඩසටහන තුළින් කියන්න උත්සාහ කරන්නේ ඔබව අපිට වටින බවයි. ඔබේ අධිෂ්ඨානය අගය කරන බවයි. සීමාවන් අභියෝගයන් ලෙස නොසළකා හරිමින් මේ දක්වා පැමිණීම පිළිබදව අපි ඔබට ස්තූතිවන්ත වෙනවා
අපේ රටේ වැඩි වශයෙන්ම අබාධ සහිත ප්‍රජාවක් ඉන්නේ උතුරු පළාතේ. එය අමිහිරි යුද්ධයක අමිහිරි අත්දැකීමක්. එවැනි තත්වයක් ඇති නොවන්නට කැප වී වැඩ කරන රජයක් ලෙස එවැනි තත්වයන් ඇති වීමට බලපාන සාධක නිර්මාණය වීමට ඉඩ නොදෙන රජයක් ලෙස අපි බලාපොරොත්තු වෙනවා ඒ යුද්ධය තුළ වැඩි වශයෙන්ම බැට කෑ ජනතාවට යම් ශක්තියක් වීමට. ඒක ඉතාමත් වැදගත් කියලා අපි හිතනවා.
කිසිවෙක් අත්නොහැර සියලු දෙනාට සමානාත්මතාවය දැනෙන සමාජයක් ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළට ජනාධිපති අරමුදල දායක කර ගැනීමට හැකි වීම සතුටක්. පෙර පාසල් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වාම ආබාධ සහිත දරුවන්ට ආධාර කිරීමට අපි වැඩසටහන් සකස් කර තිබෙනවා. අධ්‍යාපනයේ අවස්ථා පුළුල් කර තිබෙනවා. තාක්ෂණය භාවිතා කර ඉගෙනුම් ආධාර සැයපීමට ජනාධිපති අරමුදල නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම අබාධ සහිත පුද්ගලයන් අපිට වැදගත්, ඔවුන් අපිට වටිනවා කියන අදහස සමාජ ගත කිරිම ඉතා වැදගත් වෙනවා. ඒ නිසා ඔබේ කතාව අනෙක් අයට කියන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
මෙහිදී අදහස් දැක්වූ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා;
ජනාධිපති අරමුදල මෙතෙක් කොළඹ කේන්ද්‍ර කරගෙනයි ක්‍රියාත්මක වුණේ. ඒත් 2025 ජනවාරි මාසයෙන් පසු තීරණාත්මක තීන්දුවක් ගනිමින් එහි සියලු ක්‍රියාකාරකම් ප්‍රදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්‍යගත කළා. ඒ වගේම එය ඩිජිටල්කරණයට ලක් කළ නිසා මේ වන විට ලැබෙන අයදුම්පත් ප්‍රමාණය සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. රෝහල් සීමාව අපි ඉවත් කළා. ජනශක්ති රක්ෂණ සමාගම සමග එක්ව ශල්‍යකර්ම සඳහා ලබා දෙන වෛද්‍යාධාර ප්‍රමාණය ඉහළ දැම්මා. වන අලි ප්‍රහාරවලට ලක්ව මිය ගිය දෙමාපියන්ගේ දරුවන්ට, ධීවර කටයුතු වල නිරතව ආපදාවට පත්වු දෙමාපියන්ගේ දරුවන්ට, විදේශගතව සිටියදී මිය ගිය දෙමාපියන්ගේ දරුවන්ට, පාසල් අධ්‍යාපනය ලබා ගැනීමට ආධාර කිරීම ඇතුළු වැඩසටහන් රැසක් අපි අලුතෙන් හඳුන්වා දීමට කටයුතු කළා.
මෙහිදී අදහස් දැක්වූ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා;
පහුගිය කාලවකවානුවලදී යාපනය දිස්ත්‍රික්කයේ ජනතාව විදිහට ජනාධිපති අරමුදලෙන් ප්‍රතිලාභ ලබා ගත්තේ ඉතාම සුළු පිරිසක්. වර්තමාන ජනාධිපතිතුමා, වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමත් සමග කොළඹට පමණක් සීමා වී තිබු ජනාධිපති අරමුදල සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ව්‍යාප්ත කර එහි සේවාවන් පුළුල් කර තිබෙනවා. එහි කොටසක් ලෙස අද දිනයේ මේ විශේෂ අවශ්‍යතා සහිත විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට ශිෂ්‍යාධාර පිරිනැමීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.
අපිට මේ දරුවන්ට කියන්න තියෙන්නේ ඔබ පසුතැවෙන්න එපා. ඔබ වෙනුවෙන් අත්වැල් බැඳගන්න, ඔබව ආරක්ෂා කරගන්න වර්තමාන ආණ්ඩුව කටයුතු කරනවා. යාපන දිස්ත්‍රික්කය ගත්තහම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් ආරක්ෂා කරගන්න ඔවුන්ට සවියක් වෙන්න විශේෂ වැඩපිළිවෙළක අවශ්‍යතාව තිබෙනවා. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන්ද කටයුතු කරන්න වර්තමාන ආණ්ඩුව මේ වන විට සැලසුම් සකස් කරමින් සිටිනවා. ආදරණීය දරු දැරියනි ඔබ කිසිදු අභියෝගයක් හමුවේ නොසැළී ඔබේ ගමන යන්න. ඔබගේ ගමනට අත්වැලක් වන්න, සවියක් වන්න අපි ආණ්ඩුවක් විදිහට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්තද සිල්වා මහතා;
අපේ මැතිවරණ ප්‍රකාශනය ආබාධ සහිත ප්‍රජාවට විශාල ගෞරවයක්, සැළකිල්ලක් සහිතව සකක් කළා. එක්ව අත් නොහැර ප්‍රතිපත්තිය සකස් වෙන්නේ ඒ අනුවයි. ඒකට රට පුරා ආබාධ සහිත ප්‍රජාව එක් වුණා. කුමන ආකාරයේ ආබාධයකට ලක් වුණත් ඔවුන්ටත් මේ සමාජය තුළ අභිමානවත්ව, පෞරුෂයක් සහිතව ජීවත් වීමේ අයිතිය පවතින බව එයින් පිළිගෙන තිබෙනවා. ඔබ මේ පැමිණි ගමන ඉතාමත් ආදර්ශවත් ගමනක්. ඒ නිසයි ඔබට මේ ශිෂ්‍යත්ව පිරිනැමීමට කටයුතු කර තිබෙන්නේ.
ජනාධිපති අරමුදලේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා;
ජනාධිපති අරමුදල මේ වසරේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසු සිසුවියන්ට තම අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනක් ආරම්භ කළා. ඒ අනුව උතුරු පළාතෙන් විශ්වවිද්‍යාල වරම් ලද සිසු සිසුවියන් වෙනුවෙන් අද මෙම වැඩසටහන සංවිධානය කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අරමුදල ජනතාවගේ අරමුදලක් බවට පත් කළා.දැන් උතුරු පළාතෙන් ලැබෙන අයදුම්පත් ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩි වී තිබෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ආබාධ සහිත දරුවන් අපිට සම්පතක්, ඒ නිසා තමයි අපි මේ වසරේ සිට මේ ආධාර වැඩසටහන ආරම්භ කළේ. විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන පළමු විසි දෙනා ඇගයීමේ වැඩසටහනක් අපි ලබන වසරේ ආරම්භ කරනවා. ජනාධිපතිතුමාට අවශ්‍යයි ජනාධිපති අරමුදල භාවිතා කර සියලු දෙනාටම සමානව සළකන්න. එහි පාලක සභාවටත් එම අවශ්‍යතාවය තිබෙනවා. මෙය දැන් ජනතාවගේ අරමුදලක්.
උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා ඇතුළු මහජන නියෝජිතයින්ද, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. පිරතීපන් මහතා සහ රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
