රට පුරා PHIලා හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයක!

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය හෙට (24) පෙරවරු 8.00 සිට දීපව්‍යාප්ත දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට පිවිසීමට තීරණය කර තිබේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සෞඛ්‍ය කාර්යාලයේ සිදුවන අනීතික ක්‍රියාවලට එරෙහි වීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක බී.එච්. මිගස්දෙනිය මහතා ස්ථානමාරු කිරීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමු වන බව ඔවුන් දැදනුම දී ඇත.

මෙම ගැටලුව සම්බන්ධයෙන් මීට පෙර බලධාරීන් දැනුවත් කළද, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙතෙක් කිසිදු විසඳුමක් ලබාදීමට කටයුතු කර නොමැති බව එම සංගමය පවසයි.

ඒ අනුව, සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණයට අනුව හෙට සිට ක්‍රියාත්මක වන පරිදි,

දිවයින පුරා සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරිපාලනය වෙත ලබාදෙන සියලු ආකාරයේ දත්ත සහ වාර්තා සැපයීම සම්පූර්ණයෙන්ම අත්හිටුවීම.

සියලු ආකාරයේ දත්ත පද්ධති යථාවත් කිරීම (Data systems updating) අත්හිටුවීම.

මෙම කාලසීමාව තුළ නොලැබී යන කිසිදු දත්තයක් නැවත කිසිදිනෙක දත්ත පද්ධති වෙත යථාවත් නොකරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැඩිව අවධාරණය කර සිටී.

එමෙන්ම, බී.එච්. මිගස්දෙනිය මහතාගේ අත්තනෝමතික ස්ථානමාරුව වහාම අවලංගු කර, ඒ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

ඊට අමතරව, කොළඹ වරාය සෞඛ්‍ය කාර්යාලයේ සහ කටුනායක ගුවන්තොටුපළ සෞඛ්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුමත සේවක සංඛ්‍යාව අඩු කිරීමට ගෙන යන උත්සාහය ද තමන් දැඩි ලෙස පිළිකුලෙන් යුතුව හෙලා දකින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වැඩබලන සභාපති සහ ලේකම්වරයා සඳහන් කරති.

කෙසේ වෙතත්, මෙම කරුණු සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සඳහා තමන් පූර්ණ සහය ලබාදීමට මෙන්ම ඕනෑම අවස්ථාවක සාකච්ඡා කිරීමට සූදානම් බවද එම සංගමය වැඩිදුරටත් දන්වා සිටී.

END/AD/MMP/23082026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *