යතුරුපැදි සොරකම් කර උකස් කළ දෙදෙනෙක් කොස්වත්තෙන් අත්අඩංගුවට – හිරුණි ලක්ෂිකා
යතුරුපැදි සොරකම් කර ඒවා උකස් කිරීමෙන් ලැබෙන මුදල් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා යොදාගත් බවට සැක කෙරෙන කල්ලියක සාමාජිකයන් දෙදෙනෙකු, සොරකම් කරන ලද යතුරුපැදි හතරක් සමඟ කොස්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හලාවත පොලිස් කොට්ඨාසයට අයත් ආරච්චිකට්ටුව හා කොස්වත්ත පොලිස් බල ප්‍රදේශවලින් මෙන්ම මීගමුව ප්‍රදේශයෙන් මෙම යතුරුපැදි හතර සොරකම් කළ බවට සැකකරුවන් පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත.
කොස්වත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සනත් වර්ණකුලසූරිය මහතා පැවසුවේ, මෙම කල්ලිය විසින් සොරකම් කරන ලද යතුරුපැදිවල අංක තහඩු වෙනස් කර ගිරිඋල්ල, මැල්වත්ත සහ හුන්දිරාපොළ යන ප්‍රදේශවලට උකස් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
උකස් කරන ලද යතුරුපැදි පසුව කොටස් කර විකිණීම සඳහා ලබාදෙන බවටද පොලිසියට තොරතුරු ලැබී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට මීට පෙර වෙන්නප්පුව පොලිස් බල ප්‍රදේශයේ සිදු වූ යතුරුපැදි සොරකම් සම්බන්ධයෙන්ද පැමිණිලි ඇති බව පොලිසිය සඳහන් කරයි. මීට අමතරව, මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධීන් කිහිපයකට අදාළව ඔවුන් ඇප මත සිටින බවද අනාවරණය වී ඇත.
නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී ධම්මික හපුගොඩ මහතාගේ උපදෙස් මත, කොස්වත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සනත් වර්ණකුලසූරිය මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක චන්ද්‍රසේකර ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
සැකකරුවන් 19 වැනිදා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
