පදිකයෙකු යටකර පලාගිය වෑන් රථය පැය දෙකෙන් අත්අඩංගුවට – ප්‍රසාද් පූර්ණමාල්

පදිකයෙකු යටකර මරණයට පත් කර පලාගිය වෑන් රථයක් අනතුර සිදුවී පැය දෙකක් ඇතුළත එහි රියදුරු සමඟ අත්අඩංගුවට ගැනීමට මාදම්පේ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් සමත්ව තිබේ.

පෙරේදා (16) රාත්‍රී 9.20ට පමණ මාදම්පේ සේනානායක විදුහල ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් මියගොස් ඇත්තේ වත්තේගම, මඩොල්කැලේ ප්‍රදේශයේ පදිංචි රාමසාමි මයිල්වානගම් නමැති පුද්ගලයෙකි.

අනතුර සිදුවීමත් සමඟ එම ස්ථානයට පැමිණි මාදම්පේ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් අවට සීසීටීවී කැමරා පරීක්ෂා කර වෑන් රථයේ ලියාපදිංචි අංකය හඳුනාගෙන තිබේ.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී අදාළ වෑන් රථය හෙට්ටිපොල ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගෙන ඇති අතර, එහි රියදුරුද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් රියදුරු ඉතාලියේ රැකියාවක නිරත වන අතර, ගල්මුරුව, හෙලේනා වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත මහ රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබිණි.

සැකකරු සහ වෑන් රථය හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව මාදම්පේ වැඩබලන පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක කාලිංග විජේබණ්ඩාර මහතා පැවසීය.

මෙම වැටලීම මාදම්පේ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් 30108 හේරත් මහතාගේ මෙහෙයවීමෙන්, පොලිස් කොස්තාපල්වරුන් වන 68251 සුමිත්, 88594 ඉලංගසිරි සහ 90828 චානක යන නිලධාරීන් විසින් සිදුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *