”ග්‍රාම නිලධාරීන්ගේ සේවාව හෑල්ලුවට ලක් නොකර ඔවුන්ට හිමි දීමනා ලබා දෙන්න” – සජිත් ප්‍රේමදාස

ග්‍රාම නිලධාරීන්ගේ සේවාව හෑල්ලුවට ලක් නොකර ඔවුන්ට හිමි දීමනා ලබා දෙන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ ග්‍රාම නිලධාරීන්ට උද්ගත වී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂ නායක කාර්යාලයේ දී පැවති සාකච්ඡාව අතරතුරයි.

ග්‍රාම නිලධාරී ක්ෂේත්‍රය රටේ ගම් හදා නගර හදා රට හදන වැඩසටහන්වලට සුවිශේෂ දායකත්වයක් ලබා දෙන රාජ්‍ය සේවකයන් කොට්ඨාසයක් බවත් පදිංචි සහතිකයේ සිට සමාජ සුබසාධනය සමාජ සේවා ඩෙංගු මර්දන ව්‍යාපාර ආදී සෞඛ්‍ය ව්‍යාපාර ආදි සකලවිධ විෂයන් රැසක් වසම් මට්ටමෙන් ඉටු කරන නමුත් මේ වන විට ගම්මන්පිල වාර්තාවෙන් නිර්දේශිත යෝජනා 3න් එක් යෝජනාවක් පමණක් ක්‍රියාත්මක කර ක්ෂේත්‍රයේ විශාල කාර්යක් ඉටු කරන ග්‍රාම නිලධාරීන්ට දෙනවා කියූ ලීටර් 20ක ඉන්ධන දීමනාව සේම රු.750 සිට රු.1500 දක්වා වැඩි කරනවා කියූ සන්නිවේදන දීමනාව වැඩි කිරීමටද රජය කටයුතු කර නොමැති බවයි විපක්ෂ නායකවරයා මෙහිදී පවසා සිටියේ.

මීට වඩා ග්‍රාම නිලධාරීවරුන්ගේ සේවාව ඉතාම ප්‍රශස්ත මට්ටමින් රටේ ජනතාවට ක්‍රියාත්මක කරන්න නම් මේ දීමනා ලබා දීම වැදගත් බවත් 2024 කැබිනට් පත්‍රිකාවක් තුළින් මේ නිර්දේශ ඉදිරිපත් වූ බවත් මෙහි දී යෝජනා 3න් එකක් ක්‍රියාත්මක කළා නම් ඉතිරි 2ත් ක්‍රියාත්මක කළ යුතු නිසා වහාම මෙම යෝජනා ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායකවරයා මෙහිදී පවසා සිටියා.

පැය 24ම රාජකාරියේ නිරත ග්‍රාම නිලධාරීවරුන් පොදු ජනතාවගේ දුකේදීත් සැපේදීත් බිම් මට්ටමේ ජනතාවට සමීපතම රාජ්‍ය නිලධාරීන් ලෙස මොවුන් කටයුතු කරන බවත් මොවුන්ට ආපදා හා අවදානම් දීමනා සේම දින 14 අවදානම් දීමනාව පවා නොලැබෙන බවත් මේ වන විට රජයේ වැඩසටහන්වලින් පවා මොවුන් ඉවත් ව ඇත්තේ ඉල්ලීම්වලට සාධනීය විසදුම් නොලැබීම නිසා බවත් වත්මන් රජය ග්‍රාම නිලධාරීවරුන් හෑල්ලුවට ලක් නොකර ඉන්ධන හා සන්නිවේදන දීමනා සේම අවදානම් දීමනාවක් ද ලබාදිය යුතු බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *