දරුවන් කෙරෙහි සංවේදී වන සමාජයක් ඇති කිරීම සඳහා අප එක්ව වැඩ කළ යුතුයි – අගමැතිනිය

සෑම දරුවෙක් කෙරෙහිම සංවේදී කෝණයකින් බලන සමාජ තත්ත්වයක් රට තුළ ඇති කිරීම සඳහා අප සියල්ල එකට එක්ව වැඩ කළ යුතු බවත්, ඒ සම්බන්ධව දෙමාපියන් ඇතුළු සමාජයේ අනෙකුත් පාර්ශ්වයන් දැනුවත් කිරීම දේශපාලන අධිකාරියට මෙන්ම, මුල් ළමාවිය අධ්‍යාපන අංශයේ සිටින නිලධාරීන්ට පැවරෙන වගකීමක් වන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

2026.08.14 දින ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති ජාතික මුල් ළමාවිය අධ්‍යාපන විෂයමාලා රාමුවට අනුව සකස් කරන ලද ගුරු මාර්ගෝපදේශය සහ ක්‍රියාකාරකම් මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වීමේ වැඩසටහන සඳහා එක්වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියාය.

සෑම දරුවෙකුටම “නිවැරදි ආරම්භයක්” (Starting Right) යන තේමාව යටතේ සකස් කරන ලද මෙම මුල් ළමාවිය සහායක සම්පත් මාර්ගෝපදේශ සංග්‍රහය, ගුරු මාර්ගෝපදේශය, යෝජිත ක්‍රියාකාරකම් මාර්ගෝපදේශය, ඉගැන්වීම් ඉගෙනුම් ද්‍රව්‍ය අත්පොත සහ Master Material පුහුණු අත්පොත ලෙස ප්‍රධාන ක්ෂේත්‍ර හතරකින් සමන්විතය.

එම මාර්ගෝපදේශ නිර්මාණය කර ඇත්තේ ජාතික මුල් ළමාවිය සංවර්ධන විෂයමාලා රාමුවට අදාළව ගුරුවරුන්ට, පුහුණුකරුවන්ට සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ට ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කිරීමට අවශ්‍ය මඟපෙන්වීම ලබාදීම සඳහා ය. සෑම ළමයෙකුගේ ජීවිතයේ ආරම්භයේදීම ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම සඳහා නිවැරදි පදනමක් සැකසීම මෙම සමස්ත වැඩපිළිවෙළේ මූලික අරමුණයි.

එමෙන්ම, මෙම වැඩපිළිවෙළ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ, ජාතික අධ්‍යාපන ආයතනය ඇතුළු ආයතන ගණනාවක ඒකාබද්ධතාවයෙන් ක්‍රියාත්මක කර ඇති අතර ඒ සඳහා UNICEF සංවිධානයේ සහය ද ලැබී ඇත.

මෙම මාර්ගෝපදේශ සංග්‍රහය ජාතික අධ්‍යාපන ආයතනයේ නිල වෙබ් අඩවියට මුදාහැරීම අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර, අනතුරුව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මෙසේද පවසා සිටියාය.

මුල් ළමාවිය විෂයමාලා රාමුව හඳුන්වාදී අවුරුද්දක් ගතවීමට ප්‍රථමයෙන් අපට හැකිවී තිබෙනවා එහි ඊළඟ වැදගත්ම පියවර වන ගුරු මාර්ගෝපදේශය සහ යෝජිත ක්‍රියාකාරකම් මාර්ගෝපදේශ සංග්‍රහය එළිදක්වන්න. එය සාර්ථකව අවසන් කිරීම සඳහා විවිධ බාධක සහ අභියෝග මධ්‍යයේ වුවද ජාතික අධ්‍යාපන ආයතනයේ සහ අනෙකුත් ආයතනවල නිලධාරීන් දැක්වූ කැපවීම අප අගය කළ යුතුයි.

පූර්ව ළමාවිය අධ්‍යාපනය සමඟ තමයි අපගේ ක්‍රියාත්මක වෙමින් පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව හඳුන්වාදීමට සැලසුම් සකස් කර තිබෙන්නේ. මෙම මාර්ගෝපදේශ සංග්‍රහය තුළ අන්තර්ගත වෙලා තියෙන්නේ ඉගෙනුම් ක්‍රියාවලියේ වෙනසක්. ළමයාව මූලික කරගත් ගවේෂණාත්මක සහ ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපන ක්‍රමයක් ඔස්සේ ළමයාගේ මුල් ළමාවිය සංවර්ධනය සඳහා අප යොමුවිය යුතු ආකාරය සම්බන්ධව මෙයින් හොඳ අර්ථකතනයක් ලබාදෙනවා.

එමෙන්ම, මුල් ළමාවිය අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා එකිනෙකට ගැළපෙන සහ වර්ධනය වන අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ස්ථාපිත කිරීමේ ක්‍රියාවලියක අප නිරතවී සිටිනවා.එහි මූලික ආරම්භය මුල් ළමාවිය අධ්‍යාපනය ඔස්සේ ලබාදීමට අප ක්‍රියා කර තිබෙනවා. එමඟින් අප උත්සාහ කරන්නේ දැනුම විතරක් දෙන අධ්‍යාපන ක්‍රමයකට වඩා, දැනුම ලබාගෙන ඒ දැනුම හරහා කළ හැකි දේ කුමක්ද යන්න ඇගයීමකට ලක් කළ හැකි අධ්‍යාපන ක්‍රමයක් ගොඩනගන්නයි.

අපේ රටේ සම්ප්‍රදායක් තියෙනවා විවිධ සංකල්ප, ප්‍රතිපත්ති, පොත් සහ විෂයමාලා රාමු වැනි දෑ නිර්මාණයට දරන උත්සාහයට සමාන උත්සාහයක් ඒවා ක්‍රියාත්මක කිරීමට යාමේදී දක්වන්නේ නැති. නමුත් මෙම මාර්ගෝපදේශය ක්‍රියාත්මක කිරීමේදී ඔබ එසේ විය යුතු නැහැ. මෙම වැඩසටහන දීපව්‍යාප්ත වශයෙන් ක්‍රියාත්මක කිරීමේදී නිවැරදි පසුවිපරමක යෙදීමේ වගකීම සියලු පළාත් අධ්‍යාපන බලධාරීන්ට පැවරෙනවා. එසේම, මෙම ඉගැන්වීම් ක්‍රමයේ වෙනස්වීම සම්බන්ධව අප ගුරුවරුන් පුහුණු කරනවා වගේම, පූර්ව ළමාවිය අධ්‍යාපනය දරුවෙකුට ලබාදිය යුතු ආකාරය සම්බන්ධව දෙමාපියන් දැනුවත් කිරීම සඳහා ද අවධානය යොමුකළ යුතුයි.

දරුවන්ට හොඳම දේ ලබාදිය යුතුයි, රැකගත යුතුයි, ආදරය ලැබිය යුතුයි යන සංකල්ප අප හැමෝම කොපමණ විශ්වාස කළත්, දරුවන්ගේ අවශ්‍යතාවන් ගැන නොසලකා අසංවේදීව කුඩා දරුවෙකුට සලකන්න පුළුවන් වෙන්නේ කෙසේද කියා අප හොයාලා බැලිය යුතුයි. ඒ වැනි තත්ත්ව නිර්මාණය වන සාධක හඳුනාගෙන ඒවා වෙනස් කිරීමට අප මැදිහත්විය යුතුයි. එමෙන්ම ,දරුවන්ව රැකබලා ගනිමින්, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කළ හැකි තැනට භාරකරුවන්ගේ ජීවිත ගොඩනැගීම සඳහා යෝග්‍ය පරිසරය සකස් කිරීම අප සිදු කළ යුතු වගකීමක් වන බව ද අග්‍රාමාත්‍යවරිය පවසා සිටියාය.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කර සිටියේ; කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ලෙස 2026 වර්ෂය ආරම්භ කළේ සෑම අතින්ම මුල් ළමාවිය ක්ෂේත්‍රය සංවර්ධනය කළ යුතුයි යන අධිෂ්ඨානය මත වන බවයි. එමෙන්ම, මෙම මාර්ගෝපදේශ සංග්‍රහය, අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් ගොඩනැගූ ශක්තිමත් පදනමක් වන බවත්, 2027 වන විට එකම ජාතික ප්‍රතිපත්තියක් යටතේ ක්‍රියාත්මක වන, විශ්වාසයෙන් තම දරුවාව යොමු කළ හැකි පෙරපාසල් පද්ධතියක් දීපව්‍යාප්ත වශයෙන් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවද ඇය පැවසුවාය.

මෙම අවස්ථාව සඳහා කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ. ජී. දයාරත්න බණ්ඩා යන මහත්වරුන් ඇතුළු අතිරේක ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන බලධාරීන් සහ UNICEF සංවිධානයේ නියෝජිතයින් පිරිසක්ද සහභාගී වූහ.

END/PMMD/MMP/15082026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *