ශ්‍රී ලංකාව සහ ඕමානය නව වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පිළිබඳව අවධානය යොමු කරයි
ඕමාන සුල්තාන් රාජ්‍යයේ වාණිජ අමාත්‍යාංශයේ විදේශ වෙළෙඳ සහ ජාත්‍යන්තර සහයෝගිතා උපදේශක පංකජ් කිම්ජි (Pankaj Khimji) මහතා, ඕමාන සුල්තාන් රාජ්‍යයේ තානාපති අහමඩ් බින් අලි බින් සයිඩ් අල්රෂිඩි (H.E. Ahmed bin Ali bin Saeid Alrashidi) මහතා සමඟ 2026 අගෝස්තු 12 වන දින වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා හමුවිය.
මෙහිදී ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පවතින වෙළෙඳ හා ආයෝජන අවස්ථා හඳුනා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා වූ අතර, දෙරට අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශවයම කැමැත්ත පළ කළහ.
මෙම හමුවේදී කිම්ජි මහතා ප්‍රකාශ කළේ කෘෂිකර්මාන්තය සහ බලශක්තිය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව අවධානය යොමු කිරීමටත්, දෙරට අතර වෙළෙඳාම ඉහළ නැංවීමටත් ඕමානය දැඩි උනන්දුවක් දක්වන බවයි.
ඕමාන පාර්ශ්වය දැක්වූ උනන්දුව අගය කළ අමාත්‍ය සමරසිංහ මහතා, ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර රැසක පවතින පුළුල් ආයෝජන අවස්ථා පිළිබඳව පෙන්වා දුන්නේය. ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස, ලංකා නැව් සංස්ථාවේ (Ceylon Shipping Corporation) පවතින අවස්ථා ඇතුළුව ශ්‍රී ලංකාවේ දැනට පවතින ආයෝජන අවස්ථා පිළිබඳව සොයා බලන ඔහු ඕමාන ආයෝජකයින්ට ආරාධනා කළේය.
තවද, දෙරට අතර වෙළෙඳ හා ආයෝජන අවස්ථා සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික නිදහස් වෙළෙඳ ගිවිසුමකට (Free Trade Agreement) එළඹීමේ හැකියාව පිළිබඳව ද කිම්ජි මහතා ඕමාන් සුල්තාන් රාජ්‍යයේ උනන්දුව ප්‍රකාශ කළේය. අමාත්‍ය සමරසිංහ මහතා එම යෝජනාව පිළිගත් අතර ඒ පිළිබඳව සලකා බැලීමට එකඟ විය.
ආර්ථික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ වෙළෙඳ, ආයෝජන සහ ව්‍යාපාරික හවුල්කාරිත්වයන් සඳහා නව අවස්ථා උදාකර ගැනීම කෙරෙහි ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ඇති අන්‍යෝන්‍ය උනන්දුව මෙම හමුවේදී මනාව පැහැදිලි විය.
මෙම සාකච්ඡාව සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරරාජා මහතා සහ වාණිජ දෙපාර්තමේන්තුවේ වාණිජ අධ්‍යක්ෂ චරිත යට්ටෝගොඩ මහතා ද සහභාගී වූහ.
