බදුල්ල – රිදීමාලියද්ද විද්‍යාලයේ අංගසම්පූර්ණ නව ක්‍රීඩාපිටිය සඳහා මුල්ගල තැබේ!
රිදීමාලියද්ද විද්‍යාලයේ අංගසම්පූර්ණ නව ක්‍රීඩාපිටිය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ නිල උත්සවය මේ මස 10 වෙනි දා, ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම විශේෂ සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකෙරෙන නව ක්‍රීඩාපිටිය සඳහා වැය කිරීමට නියමිත සම්පූර්ණ මුදල රුපියල් 79,764,325කි.
‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව ක්‍රියාත්මක කෙරෙන පාසල් ක්‍රීඩාංගන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
දිවයින පුරා සක්‍රීය ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීමත්, ග්‍රාමීය පාසල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ජයග්‍රහණ කරා යාමට අවශ්‍ය පහසුකම් සැලසීමත් මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු වේ.
මෙම යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය මගින් බදුල්ල දිස්ත්‍රික්කයේ දරුවන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීමට මෙන්ම මහියංගණ කලාපයේ ක්‍රීඩා පහසුකම් උසස් මට්ටමකට ගෙන ඒමටද අපේක්ෂා කෙරේ.
උත්සව අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන්, රිදීමාලියද්ද ප්‍රාදේශීය සභා සභාපතිවරයා, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය, පාසල් සිසු දරුවන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
