සෑම සිසුවෙකුටම වෘත්තීය අධ්‍යාපන සහතිකයක් ලබාදීම රජයේ අපේක්ෂාවයි – නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ
මෙම වසරේදී ජාත්‍යන්තරව පිළිගත් NVQ සහතික දස ලක්ෂයක් නිකුත් කිරීමට හැකියාව ලැබුණු බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පැවසීය.
ඒ වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධාන සැමරුම් උත්සවය අගෝස්තු 12 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
සෑම දරුවෙකුම සාම්ප්‍රදායික අධ්‍යාපනයට අමතරව වෘත්තීය අධ්‍යාපනයක් ලබා ඇති අයෙකු බවට පත් කිරීම රජයේ අරමුණ බවද ඔහු පැවසීය. ඒ අනුව, ඉදිරියේදී සෑම සිසුවෙකුටම උසස් අධ්‍යාපන හෝ වෘත්තීය අධ්‍යාපන සහතිකයක් හිමිවන තත්ත්වයක් ඇති කිරීම රජයේ අපේක්ෂාව බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
වෘත්තීය අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා රජය වාර්ෂිකව රුපියල් මිලියන 8,000ක පමණ මුදලක් වෙන් කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙරට සෑම දරුවෙකුම උසස් අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකම් ලබාගෙන රට ගොඩනැගීමේ කාර්යයට දායක විය යුතු බවත්, රටේ සංවර්ධනය සඳහා මානව සම්පත ඵලදායී ලෙස යොදා ගැනීම කාලීන අවශ්‍යතාවක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
මානව සම්පත අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපනය වෙත යොමු කිරීම සඳහා ආයතන පද්ධතියේ අවශ්‍ය වෙනස්කම් සිදුකරන අතර, නව කාර්ය මණ්ඩලය බඳවා ගැනීම සහ නවීන යන්ත්‍රෝපකරණ ලබාදීමද සිදුකරන බව ඔහු සඳහන් කළේය.
එමෙන්ම කිසිදු දරුවෙකු අත් නොහැරෙන පරිදි වෘත්තීය අධ්‍යාපනය සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් එළඹෙන දෙසැම්බර් මාසයේ සිට රට පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මේ අතර, මාධ්‍ය හමුවට එක්වූ වෘත්තීය අධ්‍යාපන අතිරේක ලේකම් සමන්ති සේනානායක මහත්මිය සඳහන් කළේ පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ වෘත්තීය අධ්‍යාපනය පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට කටයුතු කරන බවයි.
2031 වසර වනවිට වෘත්තීය විෂය මාලාව උසස් පෙළ සඳහා වෙනම විෂය මාලාවක් ලෙස ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බවද ඇය පැවසුවාය. ඒ අනුව, වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනය අවසන් කරන අවස්ථාවේදී පාසල් දරුවන්ට NVQ සහතිකයක් ලබාගැනීමට හෝ එම සුදුසුකම මත උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව හිමිවන බවද ඇය පෙන්වා දුන්නාය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ වෘත්තීය මාර්ගෝපදේශනය ලබාදෙමින් දරුවන්ට නිසි මඟපෙන්වීමක් ලබාදීමටද කටයුතු කරන බව ඇය සඳහන් කළාය.
එමෙන්ම වෘත්තීය අධ්‍යාපන විශිෂ්ටතා මධ්‍යස්ථාන 50ක් වැඩිදියුණු කර පාසල් දරුවන් කාර්මික පුහුණුව සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද ඇය පැවසුවාය.
පාසල් දරුවන් වෘත්තීය අධ්‍යාපනය වෙත යොමු කිරීමේ අරමුණින් ‘නිපුණතා සිසු සවිය’ ශිෂ්‍යාධාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද බලාපොරොත්තු වන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
