මුලතිව් පොල් වගාකරුවන් 515කට රු. මිලියන 22.7ක සහනාධාර
“කප්තුරු සවිය” පරිවර්තනීය වැඩසටහන යටතේ ක්‍රියාත්මක “උතුරු පොල් ත්‍රිකෝණය” වැඩසටහනේ තවත් අදියරක් ලෙස මුලතිව්, මුල්ලියවල ප්‍රදේශයේදී පොල් වගාකරුවන් සඳහා සහනාධාර චෙක්පත් සහ පොල් පැළ බෙදාදීම වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (07) සිදු කෙරිණි.
එහිදී පොල් ඉඩම් සඳහා ජල සම්පාදන පද්ධති ඉදිකිරීම වෙනුවෙන් වගාකරුවන් 443 දෙනෙකුට සහනාධාර චෙක්පත් ලබා දෙන ලදි. විශේෂ පොල් ඉඩම් පුනරුත්ථාපන සහනාධාර වැඩසටහන යටතේ තවත් වගාකරුවන් 72 දෙනෙකුට සහනාධාර චෙක්පත් පිරිනමා තිබේ.
ඒ අනුව, ප්‍රතිලාභීන් 515 දෙනෙකු සඳහා ලබාදුන් සමස්ත සහනාධාර මුදල රුපියල් මිලියන 22.7කි. මීට අමතරව, උතුරු පළාතේ පොල් වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණින් පොල් පැළ 3,000ක් පමණ ද වගාකරුවන් වෙත බෙදාදෙන ලදී.
2030 වන විට ශ්‍රී ලංකාවේ පොල් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් දක්වාත් වාර්ෂික පොල් නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 4,200ක් දක්වාත් ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සාක්ෂාත් කර ගැනීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.
“උතුරු පොල් ත්‍රිකෝණය” වැඩසටහන පේදුරුතුඩුව, සිලාවතුර සහ කෝකිලායි ප්‍රදේශ සම්බන්ධ කරමින් යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්ක පහ ආවරණය වන පරිදි ක්‍රියාත්මක වේ.
උතුරු පළාතේ පොල් වගාව ව්‍යාප්ත කිරීම, අක්‍රීය ඉඩම් යළි වගාවට යොමු කිරීම, පොල් වගාකරුවන්ගේ ආදායම් මට්ටම ඉහළ නැංවීම සහ පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයුම ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ මගින් සැලසුම් කර ඇත.
මෙම අවස්ථාවට සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායගම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් පර්යේෂණ ආයතනය සහ පොල් සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මෙන්ම ප්‍රතිලාභී වගාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
