අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 08කට සිසුන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි

රෝගී සත්කාරයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීය ක්ෂේත්‍ර 08කට අදාළ පුහුණු පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අයදුම්පත් කැඳවා තිබේ.

සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක සැලසුම්ගත වැඩපිළිවෙළ යටතේ නිපුණතාවයෙන් හා වෘත්තීය දැනුමෙන් සමන්විත මානව සම්පතක් බිහිකිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

ඒ අනුව, දන්ත කාර්මික ශිල්පී (Dental Technician), මහජන සෞඛ්‍ය පරීක්ෂක (Public Health Inspector), සෘජුකරණඥ සහ අංගාදේශක (Prosthetist and Orthotist), කීට විද්‍යා නිලධාරී (Health Entomology Officer), පාසල් දන්ත චිකිත්සක (School Dental Therapist), විද්‍යුත් හෘද රේඛණ ශිල්පී (Electro Cardiographer), ඖෂධ සංයෝජක (Dispenser) සහ විද්‍යුත් මොළ රේඛණ ශිල්පී (Electro Encephalographer) යන වෘත්තීය ක්ෂේත්‍ර 08 සඳහා මෙම පුහුණු පාඨමාලා පැවැත්වීමට නියමිතය.

2026 අගෝස්තු 07 වැනි සිකුරාදා දිනැති අංක 2501 දරන රජයේ ගැසට් නිවේදනයට අනුව  2019 සිට 2023 දක්වා වර්ෂවල අ.පො.ස. (උසස් පෙළ) විභාගය විද්‍යා හෝ ගණිත විෂය ධාරාවලින් සමත් වූ සිසුන්ගෙන් මේ සඳහා අයදුම්පත් කැඳවා තිබේ.

අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2026 අගෝස්තු 31 වැනිදා වේ.

පුහුණු පාඨමාලා අතරින් සෘජුකරණඥ සහ අංගාදේශක වෘත්තීය ක්ෂේත්‍රයේ පාඨමාලා කාලය වසර 03ක් වන අතර ඖෂධ සංයෝජක පාඨමාලාවේ කාලය වසර 01කි. අනෙකුත් වෘත්තීය ක්ෂේත්‍ර සඳහා වන පුහුණු පාඨමාලා වසර 02ක කාලයක් පුරා පැවැත්වේ.

මෙම වැඩපිළිවෙළ මගින් අතුරු වෛද්‍ය සේවාවේ මානව සම්පත ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකවද ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.

ඒ ඔස්සේ රෝගීන් වෙත ලබාදෙන සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, වෘත්තීය පුහුණු අවස්ථා පුළුල් කිරීම සහ මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම හා ශක්තිමත් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය මානව සම්පත සපයා ගැනීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.

END/GPNP/MMP/09082026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *