දකුණේ බන්ධනාගාර වල වත්මන් තත්ත්වය ගැන සහ ඉදිරි ආරක්ෂිත කරුණු ගැන දකුණු ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් – ඩී.එස් .කීර්ති

දකුණේ බන්ධනාගාර වල වත්මන් තත්ත්වය ගැන සහ ඉදිරි ආරක්ෂිත කරුණු ගැන දකුණු ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර කිහිපයක් ආශ්‍රිතව මෑතකදී වාර්තා වූ නොසන්සුන්කාරී තත්ත්වයන් සහ ඒ හේතුවෙන් ඇති වූ ආරක්ෂක අවදානම් පිළිබඳ දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතා දැඩි අවධානය යොමු කරමින්, දකුණු පළාත තුළ එවැනි කිසිදු තත්ත්වයක් ඇති නොවීමට අවශ්‍ය සියලු පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ග කඩිනමින් සමාලෝචනය කිරීමේ අරමුණින් දකුණු පළාත් ආරක්ෂක කමිටුව ඊයේ (03දා) හදිසි රැස්වීමක් ලෙස කැඳවීමට පියවර ගත්තේය.

දකුණු පළාතේ ජනතාවගේ ආරක්ෂාව සහ සාමකාමී වාතාවරණය අඛණ්ඩව පවත්වාගෙන යාම තම ප්‍රමුඛ වගකීමක් බව අවධාරණය කළ ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී, දකුණු පළාතේ පිහිටි ගාල්ල, බූස්ස, මාතර, අඟුණකොළපැලැස්ස සහ වීරවිල බන්ධනාගාරවල වත්මන් ආරක්ෂක තත්ත්වය, රැඳවියන්ගේ ආරක්ෂාව, ආරක්ෂක විධිවිධාන තවදුරටත් ශක්තිමත් කිරීම සහ හදිසි අවස්ථාවන්ට මුහුණදීම සඳහා සූදානම් කළ යුතු ඒකාබද්ධ ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, ධීවර ජලය හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්ද, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ. චන්ද්‍රලාල්, දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම සී. මුහන්දිරම්, දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් නිලංගි ඩයස් යන මහත්ම මහත්මීන් ඇතුළු ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, විශේෂ කාර්ය බලකාය, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ දකුණු පළාතේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු සියලු ආරක්ෂක හා රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *