මහජන සෞඛ්‍ය හෙද නිලධාරී (PHNO) 368 ක් සඳහා එක් අවුරුදු පුහුණු පාඨමාලාවක් ඇරඹේ!

මහජන සෞඛ්‍ය හෙද නිලධාරී (PHNO) 368 දෙනෙකුගෙන් යුත් පස්වන කණ්ඩායමේ එක් අවුරුදු පුහුණු පාඨමාලාව අද (03) නිල වශයෙන්  ආරම්භ විය.

මෙහි ප්‍රධාන සමාරම්භක වැඩසටහන සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ ශ්‍රවණාගාරයේ දී අද (03) පැවැත්විණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් මෙහෙයවනු ලබන මෙම පුහුණු පාඨමාලාව  සඳහා දිවයින පුරා විසිරී සිටින හෙද නිලධාරීන් 368 ක් තෝරාගෙන ඇත.

කොළඹ පශ්චාත් ප්‍රාථමික හෙද විද්‍යාලය (Post Basic College of Nursing, Colombo) මුලික කර ගනිමින් අනුරාධපුර, මහනුවර, කුරුණෑගල, ගාල්ල යන  හෙද විදුහල් 05 තුළ දී මෙම පුහුණු පාඨමාලාව ක්‍රියාත්මක කෙරේ.

අද පැවැති සමාරම්භක වැඩසටහනේ දී ජනතාවට වඩාත් ගුණාත්මක, කාර්යක්ෂම සහ ප්‍රවේශ විය හැකි සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා වන අරමුණ පෙරදැරි කරගනිමින් ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා වැඩිදියුණූ කිරීමේ වැඩසටහන යටතේ මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් පුහුණු කිරීමේ හෙද විදුහල් වල පන්තිකාමර සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ නිල වශයෙන් ලබාදීම ද සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා අතින් සිදු විය.

ඒ අනුව මහජන සෞඛ්‍ය හෙද නිලධාරි පුහුණු මධ්‍යස්ථානවල පන්ති කාමර සඳහා අත්‍යාවශ්‍ය Smart Board 01, Sound System (blue Tooth) 01, Multimedia Projector 01, Large Screen 01, Duplo Machine 01, Photocopy Machine 01, Pointer 01, laptop 01 වශයෙන් ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා  ඇත.

මෙහිදී පවැති උත්සව සභාව අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා  වසර සියයකට අධික කීර්තිමත් ඉතිහාසයක් සහිත ලෝකයේම ඇගයීමට ලක් වු මහජන සෞඛ්‍ය සේවාවකට  මෙරට හිමිකම් කියන බව සදහන් කර සිටියේය.

මෑත කාලීනව බෝනොවන රෝග සම්බන්ධව වන අභියෝගයන්ට මුහුණදීම සඳහාත්, ජනගහනයේ මෙන්ම රෝගයන්හි වෙනස්වීම් ද අධ්‍යයනය කරමින් මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය තව තවත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බව ද මෙහිදී පැවැසූ නියෝජ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හදුනාගත් අඩපාඩු සඳහා  පිළියම් යෙදීමටත්, සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය උදෙසාත් මහජන සෞඛ්‍ය හෙද සේවාව යොදා ගැනීමට කටයුතු කරන බව ද  පැවැසීය.

ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන මුලික කර ගනිමින් මෙරට

ප්‍රාථමික සෞඛ්‍ය සේවාවෙි ක්ෂේත්‍ර මට්ටමින් ජනතාව සමග සමීපව කටයුතු කරන මහජන සෞඛ්‍ය හෙද නිලධාරින්ට නායකත්වයේ පුහුණුවක් ද ලබාදීමට සැලසුම් කර ඇති බව පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා  සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අත්‍යාවශ්‍ය සියලු පණිවුඩ ජනතාව අතරට ගෙනයන කණ්ඩායමක් ලෙස විශාල කාර්යභාරයක් මෙන්ම සමාජීය වගකිම් රැසක් ද මෙම නිලධාරීන්ට පැවැරෙන බව ද  වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) II චාමික එච් ගමගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැපයීම්) එච්.එම්.එන් දිනිප්‍රිය හේරත්, නියෝජ්‍ය අධයක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) II විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා‌ කුමාරපේලි, අධ්‍යක්ෂ හෙද (වෛද්‍ය සේවා)  එම්.බී.සී සමන්මලී , අධ්‍යක්ෂ (ප්‍රාථමික සෞඛ්‍ය) වෛද්‍ය ඩබ්.කේ.ඩබ් සරත්චන්ද්‍ර කුමාරවංශ, අධ්‍යක්ෂ (පුහුණු) සමන්ත ප්‍රභාත් රණසිංහ යන මහත්ම මහත්මින් මෙන්ම හෙද විදුහල්පතිවරුන්, මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

END/GONP/MMP/02082026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *