හරිත දේශගුණ අරමුදලේ නැගෙනහිර හා දකුණු ආසියානු කලාපීය සංවාදය සැප්තැම්බර් මාසයේදී
හරිත දේශගුණ අරමුදලේ (Green Climate Fund – GCF) නැගෙනහිර හා දකුණු ආසියාව සඳහා වන කලාපීය සංවාදය 2026 සැප්තැම්බර් 14 සිට 17 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ හරිත දේශගුණ අරමුදලේ ජාතික බලයලත් අධිකාරිය වන පරිසර අමාත්‍යාංශය සහ හරිත දේශගුණ අරමුදල එක්ව මෙම සංවාදය සංවිධානය කරයි.
දේශගුණික ආයෝජන සඳහා විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ ස්ථානගත කිරීමත් දේශගුණික විපර්යාස සම්බන්ධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතුවන අභියෝග හා උගත් පාඩම් හුවමාරු කර ගැනීම, කලාපීය හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම සහ හරිත දේශගුණ අරමුදලේ නව උපායමාර්ග හා ප්‍රවේශයන් පිළිබඳ දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
බංගලාදේශය, භූතානය, චීනය, ඉන්දියාව, මාලදිවයින, මොංගෝලියාව, නේපාලය, පාකිස්තානය, දකුණු කොරියාව, ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් 11කින් නියෝජිතයන් 120කට අධික පිරිසක් මෙම සංවාදයට සහභාගී වීමට නියමිතය. ජාතික බලයලත් අධිකාරීන්, සෘජු ප්‍රවේශ හා ප්‍රතීතනය ලත් ආයතන, සිවිල් සමාජ සංවිධාන සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන්ද මෙයට සහභාගී වේ.
මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම තුළින් රජයේ සහ පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සංවර්ධන හවුල්කරුවන්, තාක්ෂණික විශේෂඥයින් සහ ජාත්‍යන්තර දේශගුණික මූල්‍ය ආයතන සමඟ සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට අවස්ථාව උදාවන අතර දේශගුණික මූල්‍ය හා විදේශ ප්‍රදාන සඳහා ප්‍රවේශය තවදුරටත් පුළුල් කර ගැනීමටද අපේක්ෂා කෙරේ.
එමෙන්ම, සෘජු ප්‍රතීතනය සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇති දේශීය ආයතනවලට තම ව්‍යාපෘති සංකල්ප ඉදිරිපත් කර ප්‍රතීතන ක්‍රියාවලිය කඩිනම් කර ගැනීම සඳහා ද මෙම සංවාදය උපායමාර්ගික අවස්ථාවක් සලසා දෙනු ඇත.
ශ්‍රී ලංකාව මේ වන විට හරිත දේශගුණ අරමුදලේ ආධාර යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 52.1ක වැව් ගම් පුබුදුව (Climate Resilient Integrated Water Management Project) ව්‍යාපෘතිය සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 49ක GCF නකල්ස් ව්‍යාපෘතිය ඇතුළු ප්‍රධාන ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි.
මීට අමතරව,NDA Readiness ව්‍යාපෘති පහක්, ජාතික අනුවර්තන සැලැස්මේ (NAP) සූදානම් ව්‍යාපෘතියක් සහ කලාපීය ව්‍යාපෘති තුනක් සඳහා ද හරිත දේශගුණ අරමුදලේ අනුමැතිය හිමිව ඇත.
2024-2027 කාලසීමාව සඳහා ප්‍රමුඛතා ව්‍යාපෘති සංකල්ප පහක් හරිත දේශගුණ අරමුදල වෙත ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාවේ එකම සෘජු ප්‍රතීතන ආයතනය වන DFCC බැංකුව ඉදිරිපත් කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 107.5ක “Climate Resilient Fisheries in Sri Lanka” ව්‍යාපෘති සංකල්පයට ද අනුමැතිය හිමිව තිබේ.
