“සිලෝන් ටී විලේජ්” තේ ගම්මාන 500 ව්‍යාපෘතිය වේගවත් කෙරේ!
‘සිලෝන් ටී විලේජ්’ (Ceylon Tea Village) තේ ගම්මාන 500 ව්‍යාපෘතිය හුදෙක් ආරම්භක වැඩසටහනක් ලෙස නොව සංවිධානාත්මක හා තිරසාර ජාතික මෙහෙයුමක් ලෙස ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය සියලු සැලසුම් සකස් කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ, මෙි මස 28 වෙනි දා පැවති “සිලෝන් ටී විලේජ්” තේ ගම්මාන 500 ව්‍යාපෘතිය විධිමත්ව සංවිධානය කිරීම, පූර්ණ මෙහෙයුම් මට්ටමට ගෙන ඒම සහ ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවට එක්වෙමිනි.
ව්‍යාපෘතියේ සාර්ථකත්වය සඳහා සෑම තේ ගම්මානයකම ප්‍රමිතියෙන් යුත් තේ තවානක් සහ ආදර්ශ තේ වගාවක් ස්ථාපිත කිරීමටත්, ඒ සඳහා ගම් මට්ටමින් විධිමත් සමීක්ෂණයක් සිදු කිරීමටත් සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.
තේ ගම්මාන 500 වැඩසටහන බිම් මට්ටමින්ම ශක්තිමත් කිරීම රජයේ අරමුණ බවද ඔහු අවධාරණය කළේය.
මේ වන විට දිවයින පුරා ආරම්භ කර ඇති තේ ගම්මාන 144 සඳහා අවශ්‍ය මූල්‍ය, තාක්ෂණික හා යටිතල පහසුකම් සැපයීම සම්බන්ධයෙන්ද මෙහිදී ප්‍රධාන තීරණ කිහිපයක් ගනු ලැබීය.
ව්‍යාපෘතිය සක්‍රීයව ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික, ප්‍රාදේශීය සහ ගම්මාන මට්ටම් තුනකින් යුත් කමිටු පද්ධතියක් ස්ථාපිත කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබේන බව මෙහිදි සාකච්ඡා විය.
ජාතික මට්ටමින් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික මෙහෙයුම් කමිටුව ක්‍රියාත්මක වන අතර ප්‍රාදේශීය මට්ටමින් තේ කලාප 8හි ප්‍රාදේශීය කළමනාකරුවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ බිම් මට්ටමේ සමිති එක්ව කටයුතු කරනු ඇත. ගම්මාන මට්ටමින් තේ පරීක්ෂකවරුන්, කුඩා තේ වතු සමිති, ප්‍රජාශක්ති සභාපතිවරුන් සහ වැවිලි නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
ව්‍යාපෘතියේ මූලික අදියර සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 237ක අතිරේක ප්‍රතිපාදන වෙන් කර තිබේ. ඉන් රුපියල් මිලියන 68ක් කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මඟින් ආරම්භක තේ ගම්මාන 144හි ආදර්ශ තේ වගා ස්ථාපිත කිරීම සඳහාත්, රුපියල් මිලියන 169ක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය මඟින් ප්‍රමිතියෙන් යුත් තේ පැළ තවාන් සකස් කිරීම සඳහාත් වෙන් කිරීමට සැලසුම් කර ඇත.
මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති සහ නිලධාරීන්, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ තේ කොමසාරිස් සහ නිලධාරීන්, ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ සභාපති සහ නිලධාරීන් මෙන්ම ව්‍යාපෘතියට සම්බන්ධ අනෙකුත් ආයතනවල නිලධාරීන් ද සහභාගි වූහ.
