කොළඹ වරායේ නව පස්මහල් වරාය සෞඛ්‍ය කාර්යාලය ජනතා අයිතියට
කොළඹ වරාය හරහා මෙරටට ඇතුළුවිය හැකි මහජන සෞඛ්‍ය අවදානම් කල්තියා හඳුනාගෙන ඒවා වළක්වා ගැනීම, බෝවන රෝග නිරීක්ෂණය, හදිසි සෞඛ්‍ය අවස්ථාවන්ට කඩිනම් ප්‍රතිචාර දැක්වීම සහ ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූල දේශසීමා සෞඛ්‍ය සේවාවන් තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් ඉදිකරන ලද නව පස්මහල් කොළඹ වරාය සෞඛ්‍ය කාර්යාලය (Port Health Office) අගහරුවාදා, එනම් 28 වන දා නිල වශයෙන් විවෘත කෙරිණි.
මෙම අවස්ථාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් , වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
කොළඹ වරායේ සෞඛ්‍ය පරීක්ෂණ, රෝග නිරීක්ෂණ, නීරෝධායන කටයුතු සහ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවන්හිදී ප්‍රතිචාර දැක්වීමේ ධාරිතාව ශක්තිමත් කිරීම මෙම නව කාර්යාල සංකීර්ණය ඉදිකිරීමේ ප්‍රධාන අරමුණ වේ.
ජාත්‍යන්තර නෞකා පරීක්ෂා කිරීම, Free Pratique අවසරපත් හා Ship Sanitation Certificates නිකුත් කිරීම, වාහක පාලන (Vector Control) වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවන්හි සම්බන්ධීකරණ කටයුතු මෙහි ප්‍රධාන සේවාවන් අතර වේ.
මෙම නව ගොඩනැගිල්ල ජපාන රජයේ මූල්‍ය අනුග්‍රහය යටතේ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) විසින් ක්‍රියාත්මක කළ “නිරිතදිග ආසියාවේ බෝවන රෝග සඳහා ප්‍රතිචාර දැක්වීම සඳහා වූ දේශසීමා පාලන ධාරිතාව ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය” යටතේ ඉදිකර ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 168කට අධික වේ.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, වරාය ආශ්‍රිත සෞඛ්‍ය හා නීරෝධායන සේවාවන් සඳහා ඉදිකරන ලද මෙම නව කාර්යාල සංකීර්ණය අනාගතයේදී රටට ඉතා වැදගත් ආයෝජනයක් වන බවයි.
ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රකෘතිමත් වීමේ මාවතේ ගමන් කරන මෙම අවස්ථාවේදී වරාය පද්ධතිය රටේ ආර්ථිකයේ ප්‍රධාන දොරටුවක් වන බැවින් වරාය සෞඛ්‍ය ආරක්ෂාව ශක්තිමත් කිරීම මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම පමණක් නොව රටේ ආර්ථික සුරක්ෂිතභාවයද තහවුරු කිරීමක් බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
එමෙන්ම, කොළඹ, හම්බන්තොට, ගාල්ල, කන්කසන්තුරේ සහ ත්‍රිකුණාමලය වරායන්හි සෞඛ්‍ය හා නීරෝධායන සේවාවන් වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට මෙම නව පහසුකම් විශාල ශක්තියක් වන බවද වරාය සෞඛ්‍ය සේවයේ නිරත කාර්ය මණ්ඩලයට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල සේවාවක් සැපයීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් වන බවද ඔහු පැවසීය.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදුන් ජපාන රජයට , ජපාන ජනතාවට සහ IOM සංවිධානයට සිය කෘතඥතාව පළ කළ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින සංවර්ධන හවුල්කාරිත්වය ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් වනු ඇති බවටද විශ්වාසය පළ කළේය.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා සඳහන් කළේ, ජපාන රජය සහ IOM සංවිධානය එක්ව වසර තුනහමාරකට පමණ පෙර ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට සහ අදාළ සියලු ආයතන වෙත සිය කෘතඥතාව පළ කරන බවයි. සංචාරක කර්මාන්තය සහ සමුද්‍රීය වෙළෙඳාම ශක්තිමත් වෙමින් පවතින මෙවැනි අවස්ථාවක රටේ ප්‍රධාන දේශසීමා පිවිසුම් ස්ථානවල මහජන සෞඛ්‍ය ආරක්ෂණ පද්ධති ශක්තිමත් කිරීම ජාතික වැදගත්කමක් සහිත කාර්යයක් බවද ඔහු අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වූ IOM මෙහෙයුම් ප්‍රධානී ක්‍රිස්ටින් පාර්කෝ මහත්මිය පැවසුවේ, මෙම නව වරාය සෞඛ්‍ය කාර්යාලය විවෘත කිරීම ශ්‍රී ලංකාවේ දේශසීමා සෞඛ්‍ය ආරක්ෂාව ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් බවයි. ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි ඵලදායීව ක්‍රියාත්මක කිරීම, දේශසීමා සෞඛ්‍ය අවදානම් කළමනාකරණය සහ මහජන සෞඛ්‍ය ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා මෙම පහසුකම සැලකිය යුතු දායකත්වයක් ලබාදෙන බවද ඇය ප්‍රකාශ කළාය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වූ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ (IOM) මෙහෙයුම් ප්‍රධානී ක්‍රිස්ටින් පාර්කෝ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සාලින්ද බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. එම්. ආනල්ඩ්, වරාය සෞඛ්‍ය කාර්යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී එස්. ඒ. එස්. මහීපාල, අධ්‍යක්ෂක නිරෝධායන, වෛද්‍ය යසෝමා වීරසේකර, හිටපු ප්‍රධාන වරාය සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය ආර්.කේ.එස්. විජේසිංහ, හාබර් මාස්ටර් කැප්ටන් ලක්ෂි වසන්ත, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහකාර කළමණාකරණ අධ්‍යක්ෂ නලින් අපෝන්සු යන මහත්ම මහත්මින් ඇතුළු ජපාන තානාපති කාර්යාලය, IOM සංවිධානය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කළ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
END/GONP/MMP/30072026
