පුත්තලමේ කඩොලාන වනාන්තර 08ක් නව රක්ෂිත ලෙස ප්‍රකාශයට

පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි කඩොලාන වනාන්තර පද්ධති 08ක් නව රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා වන ගැසට් පත්‍රයට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා ඊයේ (27) පරිසර අමාත්‍යාංශයේදී අත්සන් තැබීය.

මෙම වැඩසටහන රජයේ “තිරසර ජෛව ලෝකයක් – සදාහරිත ජීවිතයක්” පරිසර ප්‍රතිපත්තියට අනුව ක්‍රියාත්මක “කඩොලානට දලුලන්න ඉඩදෙන්න” ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරේ.

ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනය (ජූලි 26) නිමිත්තෙන්, “වනස්පති” ජාතික වැඩසටහනේ තවත් වැදගත් පියවරක් ලෙස මෙම නව රක්ෂිත ප්‍රකාශයට පත් කිරීම සිදු කර ඇත.

මෙවර රක්ෂිත ලෙස නම් කෙරෙන කඩොලාන වනාන්තර 08හි සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර් 176.67කි. එම වනාන්තර ලෙස තිල්ලිඅඩිය, සම්මට්ටවාඩිය, මුතලප්පාලි, කුඩාව, කුඹුටු කුලියාව, කරඹේ, කන්දකුලිය සහ මණ්ඩල කුඩාව හඳුනාගෙන තිබේ.

පසුගිය 2025 වසරේදීද මෙම ජාතික වැඩසටහන යටතේ පුත්තලම හා හලාවත අඩවි වන කාර්යාලවලට අයත් කඩොලාන වනාන්තර කිහිපයක් රක්ෂිත ලෙස නම් කරමින් හෙක්ටයාර් 67කට ආසන්න භූමි ප්‍රමාණයක් ආරක්ෂාවට ගෙන තිබුණි.

ශ්‍රී ලංකාවේ දැනට කඩොලාන භූමි ප්‍රමාණය හෙක්ටයාර් 12,500ක් පමණ වන අතර, එහි විශාලතම ප්‍රමාණය පුත්තලම දිස්ත්‍රික්කයේ මෝය හා කලපු ආශ්‍රිත ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇත. පර්යේෂණ අනුව මෙරටින් කඩොලාන විශේෂ 11ක් පමණ වාර්තා වී තිබේ.

මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක වන සංරක්ෂක හා වැඩබලන වන සංරක්ෂක ජනරාල් උත්පලා කලන්සූරිය මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *