ලෝක කඩොලාන දිනය දී ලොවට ආදර්ශයක්!

“අද වගේ දවසක මගේම අක්කර ගණනාවක කඩොලාන පද්ධතියක සිට මම කථාකරන්නේ ඉතාම සතුටින්. ලෝකයේ පවතින ගෝලීය පාරිසරික අර්බුද මේ කඩොලාන පද්ධති මගින් අවම කරනවා. මුහුදත් ගොඩබිමත් අතර ඉතාම පටු තීරයක තමයි මේ කඩොලාන ජීවත් වෙන්නෙ. නමුත්, ලංකාවේ සමස්ත භූමී ප්‍රමාණයෙන් දශම 3ක් වගේ තමයි මේ කඩොලාන භූමී තියෙන්නේ. ඒ නිසා ලංකාවේ කඩොලාන පද්ධතිය ආරක්‍ෂාකර ගැනීම විශේෂයෙන් කළ යුතු කාර්යයක් වෙනවා” යැයි මෝජෝ පුවත්  හා අදහස් දැක්වූ පරිසරවේදී දිනූෂ නානායක්කාර කීවේය.

ඔහු මෙම අදහස් පළකළේ, පසුගිය දා එනම් ජූලි 26 වෙනිදා දවස ට යෙදුණු ලෝක කඩොලාන දිනය වෙනුවෙන් අදහස් දක්වමිනි.

යුනෙස්කෝ සංවිධානය විසින් ජූලි 26 වෙනි දා දවස ලෝක කඩොලාන දිනය ලෙසට නම්කර තීබීම නිමිතිකොට ගෙන ශ්‍රි ලංකාවේ ද විවිධ පාර්ශවයන් විසින් විවිධ පළාත්වල දී කඩ‌ොලාන සිටුවීම, ආරක්‍ෂාකර ගැනීම, අවබෝධය ලබාදීම යනාදි කාර්යයන් රාශියක් සංවිධානය කර තිබුණි. ශ්‍රි ලංකාවේ බස්නාහිර පළාතේ හදවත ලෙසට හඳුන්වනු ලබන මුතුරාජවෙල තෙත්බිම් පරිශ්‍රයේ දී සිංහසමාජයේ දායකත්වයෙන් කඩොලාන නැවත සිටුවීමේ වැඩසටහනක් පැවැත් වූ අතර, පෞද්ගලීකව ද කඩොලාන පද්ධතියක් පවත්වාගෙන යමින් කඩොලාන සංරක්‍ෂණයට දායකත්වය ලබාදීමක් පිළිබඳව ද අනාවරණය විය.

මෙවර කඩොලාන දින තේමාව වුයේ “තිරසාර නිල් ආර්ථිකයක් සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සඳහා නිරෝගී කඩොලාන පරිසරයක්” යන්නයි.

2015 වසරේදී යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක කඩොලාන සුරක්ෂිත දිනය සම්මත කර ගන්නා ලද අතර, කඩොලාන ශාඛයේ හා ව්‍යාප්ත වූ කඩොලාන පද්ධතීන්හි වැදගත්කම පිළිබඳව ගෝලීය අවබෝධය වර්ධනය කිරීම සහ ඒවායේ තිරසාර කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම එහි අරමුණයි. කඩොලාන දිනයක් වශයෙන් 2016 වසරේදී ප්‍රථමවරට කඩොලාන දිනය සමරන ලදී.

මේ වන විට ලෝකය පුරා කඩොලාන දැවැන්ත තර්ජනයකට මුහුණපා තිබෙන බවත්, කඩොලාන වනාන්තර ඉතා සීග්‍රයෙන් විනාශ වෙමින් පවතින බවත් සඳහන් කළ සිංහසමාජය – කිරිබත්ගොඩ, 306 ඩී 4 සිංහ දිස්ත්‍රික්කයේ සිංහාධිපති සිංහ දිලූක මහවත්ත , එවැනි ඛේදවාචකයක් හමුවේ නිශ්ශබ්දව සිටිය නොහැකි බැවින් හැකි ආකාරයකින් අපේ රටේ කඩොලාන පද්ධතිය ආරක්‍ෂාකර ගැනීමට දායක වීම සෑම පුරවැසියෙකුගේ ම යුතුකමක් බව පෙන්වා දුණි.

ඊට දායකත්වය ලබාදෙමින් ලෝක කඩොලාන දිනයට සමගාමිව 306 ඩී 4 සිංහ දිස්ත්‍රික්කයේ සිංහාධීපති සිංහ දිලූක මහවත්ත මහතා සහ එම මහත්මියගේ සහභාගීත්වයෙන් මුතුරාජවෙල තෙත්බිම් කලාපය තුළ අලුතින් කඩොලාන සිටුවීමේ වැඩසටහනක් පැවැත්වූ බව, මුතුරාජවෙල සුරැකීමේ අගරදගුරු කමිටුවේ සභාපති දිණූෂ නානායක්කාර මෝජෝ පුවත් සේවයට ප්‍රකාශ කළේය.

“වෙනත් ශාඛවලට වඩා, කාබන් අවශෝෂනය කරගෙන ඔක්සිජන් මුදාහැරලා ගෝලීය උණුසුම අවම කරන්න කඩොලාන මුල් වලින් , කොළවලින් ඉතාම මහගු සේවාවක් ලෝකෙට ලබාදෙනවා. ඒ නිසා අදවගේ දවසක අපට ඔක්සිජන් ලබාදෙන කඩොලාන වර්ධනයකර ගන්න, ආරක්‍ෂාකර ගන්න වැඩිපුර සිතාබලන එක ඉතාම කාලෝචිතයි.”ඔහු කීවේය.

“ඒ වගේම අපි දකිනවා ඇතැම් ආයතන වලින් කඩොලාන නැවත සිටුවීමේදි කඩොලාන හොඳට වැවිලා තිබෙන වනාන්තරවලින් කඩොලාන පැල ගලවාගෙන නුසුදුසු භූමිවල පැලකරනවා. නමුත් ඉතාම අල්ප ප්‍රමාණයක් තමයි වැවෙන්නේ. ගොඩාක් පැල මැරිලා යනවා. එවිට කඩොලාන තිබුණු භූමියටත් ඒක අහිමි වෙනවා. ඒක හරිම විනාශයක්. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා, දැනට තියෙන කඩොලානත් විනාශ නොකර, නිසි විධියට කඩොලාන වර්ධනය කරගෙන සමස්ත මිනිස්සුන්ගේ දිවි පැවැත්මට අත්‍යවශ්‍යම ඔක්සිජන් සපයා දෙන්නට දායක වන්නට” යැයි දිණුෂ නානායක්කාර පැහැදිළි කළේය.

පාසැල් ළමුන්ගේ සිට කඩොලාන වැවීමේ , ආරක්‍ෂාකර ගැනීමෙී උනන්දුව ඇතිකළ යුතු යැයි ද සඳහන් කළ දිණූෂ , අද දවසේදී තමන් විසින්ම වර්ධනය කරමින් ආරක්‍ෂාකරමින් පවතින මෙවැනි විශාල කඩොලාන පද්ධතිය අද ජීවත්වන තමන් ඇතුලු සමස්ත සමාජයටම හිමිවනවා මෙන් ම තමන් නැති දවසකදී වුව, මිනිසුන්ගේ දිවි පැවැත්මට උපකාරි වන බව දැනෙන විට ඉතාම සතුටක් දැනෙන බව වැඩිදුරටත් අදහස් දක්වමින් දිණූෂ නානායක්කාර මෝජෝ පුවත් සේවයට කීවේය.

– මෙලනි මානෙල් පෙරේරා

END/MMP/27072026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *