පදක්කම් 85ක් දිනූ ශ්‍රී ලංකා කරාතේ සංචිතයට ගුවන් තොටුපොළේදී උණුසුම් පිළිගැනීමක්!

බංග්ලාදේශයේ ඩකා නුවර පැවැති 10 වන දකුණු ආසියානු කරාතේ ශූරතාවලියේදී (10th South Asian Karate Championship 2026) මව්බිමට මහත් අභිමානයක් අත්කර දෙමින් පදක්කම් 85ක් දිනාගත් ශ්‍රී ලංකා ජාතික කරාතේ සංචිතය ඊයේ (21) පස්වරුවේ සාර්ථකව දිවයිනට පැමිණියේය.

ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL 190 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි ජාතික කණ්ඩායම පිළිගැනීම සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා කරාතේ සංගමයේ නිලධාරීන් මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් සහ ඥාතීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

මෙම තරගාවලියේදී රන් පදක්කම් 13ක්, රිදී පදක්කම් 23ක් සහ ලෝකඩ පදක්කම් 49ක් දිනාගනිමින් විශිෂ්ට දක්ෂතා දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.මීට අමතරව, කණ්ඩායම සමඟ එක්වූ ශ්‍රී ලාංකික පුහුණුකරුවන් 05 දෙනෙකු ද ආසියානු කරාතේ සම්මේලනයේ (Asian Karate Federation – AKF) නිල පුහුණුකරුවන්ට හිමි බලපත්‍ර (AKF Coaching Accreditation) හිමිකර ගනිමින් මෙරට කරාතේ ක්‍රීඩා ක්ෂේත්‍රයට නව ජවයක් එක් කිරීමට සමත් විය.

ගුවන් තොටුපොළේදී පැවැති පිළිගැනීමේ අවස්ථාවට එක්වූ අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිස, ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකා නාමය ඉහළටම ඔසවා තැබූ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ පුහුණුකරුවන්ට සිය හදපිරි සුබ පැතුම් පිරිනමන ලදී.

END/GONP/MMP/22072026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *