සිය අනන්‍යතාවයේ මුල් සොයන ශ්‍රී ලාංකික විදෙස් දරුවෝ. – ආනන්ද ධර්මප්‍රිය ජයසේකර.
ඇය දිල්හානීය.(ඇයගේ සත්‍ය නම නොවේ.සත්‍ය නමට සමාන නමකි.) අවිස්සාවේල්ල මූලික රෝහලේදී උපත ලබා ඇත්තේ 1993 වසරේ ජූලි මාසයේ පළමු සතියේ දිනකය.තෙමසක් සිය ජීව විද්‍යාත්මක මව වූ ලාලිනීගේ (සත්‍ය නාමයට ආසන්න නමකි.) රැකවරණය යටතේ කරවනැල්ල ප්‍රදේශයේ ජීවත්වී ඇති ඇය, ප්‍රංශ ජාතික යුවළකගේ දියණිය බවට පත්ව ශ්‍රී ලංකාවෙන් නික්ම ගොස් මේ වනවිට 33 වසරකි.
ගෙවීගිය 33 වසර තුළ ප්‍රංශ දෙමාපියන්ගේ සහයෙන් දිල්හානීගේ ජීවිතයට බොහෝ වටිනාකම් එක්වී ඇතත්,යමක් කමක් තේරුම්ගතහැකි වයසේ සිටම ඇයගේ ජීවිතයේ සම්පූර්ණ නොවූ විශාල හිඩැසකි ; ඒ සැබැවින්ම තමන් කවුද?තමන්ගේ ශ්‍රී ලාංකික දෙමාපියන්,සහෝදර සහෝදරියන් සිටින්නේ කොහේද? යන පිළිතුරු නොමැති ප්‍රශ්න නිසා ඇතිවූ හිස්බවයි.ඇය සිය මව ගැන දන්නේ1954 වර්ෂයේදී මෙලොව උපත ලබා ඇති තමන්ගේ මව ශ්‍රී ලංකාවේ මාතර අයෙකු බව පමණකි. වසර ගණනාවක සිට ඇය ඒ දන්නා තොරතුර ඔස්සේ කෙසේ හෝ සිය මව සොයාගැනීමට නොදැරූ පරිශ්‍රමයක් නැත.ප්‍රංශ තානාපති කාර්යාලයේද සහය ලබාගනිමින් ඇය තව දුරටත් ඒ උත්සාහයේ නිරතව සිටියි.
ඊළඟ කතාව
———————-
ගෙදර ලිපිනය සොයාගෙන විදෙස් යුවතියක සමඟ ගෙයි දොරකඩටම ආ අමුත්තා විසින් කළඹනු ලැබූ අමරාවතීගේ (ඇයගේ සත්‍ය නම නොවේ.) සිත තවමත් කැළඹුණු ගමන්මය.“ලිපිනය නම් හරියටම හරි.ඒ වුණත් ඔය කියන නම තියෙන කවුරුවත් නම් මෙහේ නැහැ”යි කියා ඔවුන් ආපසු හරවා යවන්නට තම පුත්‍රයා ඉක්මන් වුණා වැඩියැයි ඇයට සිය දහස්වර සිතෙයි.තමාදෙස බලාපොරොත්තු සහගතව බලාසිටි විදෙස් දියණියගේ දෑස්වල මොකක්දෝ හුරුපුරුදු බවක් තිබූ බව ඇයට නොයෙක්වර සිහිපත්වෙයි.ඇගේ නළල්තලය දැකීමෙන් දිගු කලකට පසු හාරා ඇවිස්සුණ විජේ පිළිබඳ මතකය නැවතත් හද පාරවන්නට පටන්ගෙන තිබේ.
44 වසරකට තරම් ඈත අතීතයේ කටුනායක ඇඟළුම් කර්මාන්ත ශාලාවේ වැඩකළ සමයේ, සුවහසක් සිහින බලාපොරොත්තු මැද තමාටත් විජේටත් ලැබුණු කුළුඳුල් බිළිඳිය දකින්නටවත් නොපැමිණ විජේ තමන්ට පිටුපෑවේ ඇයිදැයි ඇයට තවමත් ප්‍රහේළිකාවකි. අමරාවතීගේ දෙමාපියන්ටත් සියල්ල වසන් කරමින්, ඇගේ යෙහෙළිය ඇයට පිහිට නොවන්නට තමන්ට කුමකින් කුමක් සිදුවන්නට තිබුණිදැයි ඇයට නොයෙක්වර කල්පනා වෙයි.‘විජේ එදා මමත් දරුවත් භාරගත්තානම් කවදාවත් මගේ කෙල්ලා සුදු නෝනට හදාගන්න දෙන්නේ නෑ.’
හමුදා නිලධාරියෙකුගේ බිරිඳක්ව නැවතත් සිය ජීවිතය අලුතින් ඇරඹූ අමරාවතී දැන් දෙදරු මවකි. ‘මගේ ඇස් පියැවෙන්න කලින් එක සැරයක් මගේ කෙල්ලගේ මූණ දකින්න ඇත්නම්’. දෙදරු මවක් වුවද අමරාවතීට තවමත් ඒ කුළුඳුල් දියණිය මහමෙරකි.
මේ, සිය දෙමාපියන් සොයන ශ්‍රී ලාංකික විදෙස් දරුවන් සහ විදේශයන්ට ලබාදුන් තම දරුවන් නැවත එක් වරක් හෝ දැකබලා ගැනීමේ පරම අදිටනින් පෙළෙන දෙමාපියන් ගැන කතා දෙකක් පමණකි.අනෙක් කතාද මේ කතා තරම්ම සංවේදීය. ගැඹුරුය.මෙම දරුවන් සහ දෙමාපියන් එකට හමුවන මොහොතක් එළඹුනද මනෝ සමාජීය උපදේශනයකින් තොරව,දෙපාර්ශවයේම ගෞරවයට හානියක් නොවන පරිදි එම කාර්යය සම්පූර්ණ කරගැනීමට නොහැකි තරම් ඒ කතා සංකීර්ණය.
‘සොයමු’ කණ්ඩායමේ සොයාගැනීම්.
———————————————————–
දරුකමට හදාගැනීමට ලක්වූ වැඩිහිටි අයට සහ ඔවුන්ගේ ජීව විද්‍යාත්මක පවුල්වලට ඔවුන්ගේ මූලාරම්භය සෙවිමේ සංකීර්ණ ක්‍රියාවලියට නොමිලේ සහායවීම සඳහා නිර්මාණය කර ඇති ‘SERVE’ආයතනයේ විධායක අධ්‍යක්ෂ සංජීව ද මැල් පවසන ආකාරයට 1970 සිට 1990 දක්වා දශක දෙක තුළ ශ්‍රී ලංකාවෙන් විදේශිකයින් වෙත ලබාදී ඇති පුංචි දරුවන්ගේ ප්‍රමාණය 10,000 – 15,000 තරම්ය.
“ මේ දරුවන් පිටරටට හදාගන්න දෙද්දී ලොකු අඩුපාඩු රැසක් සිදුවෙලා තියෙනවා. ලංකාවේ රජය වගේම ඒ දරුවන් හදාගන්න ගනිපු රටවලුත් ඒ අඩුපාඩු සම්බන්ධයෙන් වගකීමට බැඳෙනවා.නීතිය අනුව ඒ දරුවන් කොහොමද යැව්වේ සහ කොහොමද ඒ් දරුවන් රටකින් රටකට ගෙනාවේ කියන එක ප්‍රශ්නයක්. ”
“ මේ දරුවන්ගෙන් සෑහෙන ප්‍රමාණයකගේ උප්පැන්න සහතිකවල තියෙන්නේ ඇත්ත තොරතුරු නෙවෙයි;1970-1980 දශකවල ලේඛනවල සඳහන් තොරතුරුවල අතිශය අවිශ්වාසනීය ස්වභාවයක් දක්නට තියෙනවා.ප්‍රාදේශීය අධිකරණ ලේඛනාගාර තොරතුරු,රෝහල් ප්‍රසූති සටහන්,ප්‍රාදේශිය උපත් ලේඛන ආදී සියල්ලෙහිම මෙම ව්‍යාජ ස්වභාවය පවතිනවා.ඒවායේ සඳහන් නම්,ලිපිනයන් සත්‍ය නම්,ලිපිනයන් නොවන බව පෙනෙන්නට තිබෙනවා.සමහරවිට එක මවකගේ නමක් යටතේ බොහෝ දරුවන් ලියාපදිංචි කරඇති අවස්ථාත් තිබෙනවා.”
1970 -1990 දක්වා දශක දෙකක කාල වකවානුව තුළ දරුකමට හදා ගැනීම සඳහා වැඩිම ශ්‍රී ලාංකික දරු පිරිසක් ලබාදී ඇත්තේ ප්‍රංශය, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය,බෙල්ජියම සහ ජර්මනිය වැනි රටවල්වලට බව ‘search’ආයතනය ඒ සම්බන්ධයෙන් ඒකරාශීකර ඇති දත්ත අනුව පෙනීයයි.
බටහිර දත්ත වලින් කියැවෙන දේ.
——————————————————–
නෙදර්ලන්තයේ ප්‍රමුඛ Joustra වාර්තාව සහ ස්විට්සර්ලන්තයේ ZHAW වාර්තාව වැනි නිල බටහිර විමර්ශනවලින් උපුටාගත් දත්ත අනුව 1982-1992 දශකය තුළ දරුකමට හදාගැනීම්වල පෙර නොවූවිරූ තරම්
උච්ච තත්ත්වයක් නිරූපනය වේ.නිදර්ශනයක් ලෙස නෙදර්ලන්තයෙන් පමණක් 1984 දී දරුකමට හදාගැනීම් 460 ක්ද,1985 දී 537 ක්ද,1986 දී 565 ක්ද වාර්තාවී තිබේ.1986 දී දරුකමට හදාගැනීම සඳහා ප්‍රංශයට ලබාදී ඇති ශ්‍රී ලාංකික දරුවන්ගේ ප්‍රමාණය 297 කි.ඉහත වාර්තා අනුව 1979 සිට 2021 අතර කාලය තුළ දරුකමට හදාගැනීම සඳහා ප්‍රංශයට ලබාදී ඇති ශ්‍රී ලාංකික දරුවන්ගේ සංඛ්‍යාව 1694 ක් තරම් ඉහළ අගයක් ගනී.
“ අපි හරිම පරිස්සමින්,ඉතාම රහසිගතව තමයි මේ දරුවන්ගේ දෙමාපියන් සෙවීම කරන්නේ.විදෙස්ගත දරුවන්ගේ වගේම ශ්‍රී ලාංකික දෙමාපිය සහෝදර සහෝදරියන්ගේ ගෞරවය ගැන අප හැමවිටම සැලකිලිමත් වෙනවා.දරුවන්ගේ පාර්ශවයෙන් මේ වනවිට අපට ඉල්ලීම් රැසක් ලැබී ඇතත් තවම දෙමාපියන්ගේ පැත්තෙන් ලැබෙන ඉල්ලීම් ප්‍රමාණය හුඟක් අඩුයි.අපේ ‘සොයමු’ වැඩසටහන මේ දෙපාර්ශවයටම එකසේ විවෘතයි.” ‘search’ ප්‍රධානී සංජීව ද මැල් පවසයි.
අනන්‍යතාවයට සහ සම්භවයට ඇති අයිතිය.
————————————————————————
පුද්ගලයෙකුට තම මූලාරම්භය සොයා ගැනීමට,තම මුතුන් මිත්තන්ගේ උරුමය අවබෝධ කර ගැනීමට සහ තම ජීව විද්‍යාත්මක දෙමාපියන්ගේ අනන්‍යතාවය දැනගැනීමට ඇති අයිතිය මානව ගරුත්වය,මානසික යහපැවැත්ම හා බැඳුණු මූලිකම අයිතිවාසිකමකි.මෙම අයිතිය ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධති,විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (UNCRC) යටතේ පැහැදිලිව පිළිගෙන තිබේ.එම සම්මුතිය අනුව ජාතිකත්වය,නම සහ පවුල් සබඳතා ඇතුළුව තම අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීමට සෑම පුද්ගලයෙකුටම ආවේනික අයිතියක් ඇත.
1993 මැයි මස 29 දින සම්මත කරගනු ලැබූ ‘ළමා ආරක්ෂාව සහ ජාත්‍යන්තරව දරුකමට හදාගැනීම් සම්බන්ධයෙන් සහයෝගීතාව පිළිබඳ හේග් සම්මුතිය’ (HCCH 93) ද දරුවාගේ යහපත,උපන් දෙමාපියන් සහ අනාගත දරුකමට හදාගන්නා දෙමාපියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් නිර්මාණය කරන ලද ප්‍රධාන ජාත්‍යන්තර ගිවිසුමකි.ශ්‍රී ලංකාව හේග් සම්මුතිය පිළිගත් ලෝකයේ තෙවැනි රට වශයෙන් සැලකෙන අතර 1995 මැයි 01 දින සිට එය ශ්‍රී ලංකාව තුළද බලාත්මකය.
දරුවන් පැහැරගැනීම,විකිණීම හෝ ජාවාරම් කිරීම වැලැක්වීමත්,ජාත්‍යන්තර දරුකමට හදාගැනීම් විනිවිද පෙනෙන,සදාචාරාත්මක සහ නීත්‍යානුකූල ආකාරයෙන් සිදුවන බවට සහතික වීමත් ‘හේග් සම්මුතියේ’ප්‍රධාන අපේක්ෂා කිහිපයකි.
ලාංකික නීති දැල්තුළ පැවැති සිදුරු
———————————————————
ශ්‍රී ලංකාවේ දරුකමට හදාගැනීම පිළිබඳ නීතිවල ඉතිහාසය 1944 දී පනවන ලද ආඥා පනතක් දක්වා ඈතට දිවෙයි.එම නීති 1960,1964,1979 වසරවලදී විවිධ සංශෝධන මගින් නැවත නැවතත් සවිමත් කර ඇතත් එම සවිමත් කළ නීති දැල් තුළද පුංචි දරුවෙකු දැළ තුළින් රිංගවා ආරක්ෂිතව බැහැරට ගැනීමට හැකි තරම් ප්‍රමාණයේ සිදුරු පැවැතී ඇති බව 1980 දශකයේ සිදුවීඇති අයථා භාවිතයන් අධ්‍යයනය කිරීමේදී පෙනීයයි.
ශ්‍රී ලාංකික නීතිවිරෝධී ළමාරක්ෂක මධ්‍යස්ථානවලට එල්ල වූ අපකීර්තිමත් තත්ත්වයන් සහ ඒ සම්බන්ධ පොලිස් වැටලීම්වලින් පසුව 1987 ජුනි 8 වැනිදා සිට ශ්‍රී ලංකා බලධාරීන් සියලුම විදේශීය දරුකමට හදා ගැනීම් සඳහා පුළුල් ජාතික තහනමක් පනවා ඇති අතර එම තහනම 1988 තෙක් ක්‍රියාත්මකවී තිබේ.පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව (DPCCS) හරහා සියලුම විදේශීය දරුකමට හදාගැනීම් රාජ්‍යයේ අධිකාරිය යටතට ගැනීමේ 1992 නීති ප්‍රතිසංස්කරණ සිදුවී ඇත්තේ ඉන් අනතුරුවය.
ශ්‍රී ලංකාවේ ‘ළදරු ගොවිපලවල්’ හෙවත් ‘බේබි ෆාම්’ ඉතිහාසය
————————————————————————-
1980 දශකයේදී ශ්‍රී ලංකාව තුළ අසරණ මව්වරුන්,විවාහයෙන් පිටත ගැබ්ගත් කාන්තාවන් හා දැඩි දරිද්‍රතාවයෙන් පෙළුණ කාන්තාවන්ට පිහිටවන මුවාවෙන් පවත්වාගෙනගොස් ඇති මව්වරුන් රඳවාගැනීමේ මධ්‍යස්ථාන හෙවත් ‘බේබි ෆාම්’ පිළිබඳ ඉතිහාසය මඟහැර ‘දරුකමට හදා ගැනීමට විදේශිකයින්ට දරුවන් ලබාදීම්’ ගැන සාකච්ඡා කළ නොහැකි තරම් එම සිදුවීම් අතර අන්තර් සබඳතාවක් පවතින බව පෙනේ. මෙම ‘බේබි ෆාම්’ ළදරු ව්‍යාපාර සමඟ බැඳුණු ප්‍රබල දේශපාලන චරිත පිළිබඳවද එකල විවිධ ඉඟි කිරීම් පැවැතිණි.එම ‘බේබි ෆාම්’ජාලාතුළ සිදුව ඇත්තේ මව්වරුන්ට රැකවරණය සැලසීම පමණක් නොවන බවත්,සැලසුම්සහගත ලෙස රෝහල්වලින් දරුවන් සොරකම්කර ව්‍යාජ ලේඛන සකසා යුරෝපීය රටවල්වලට දරුවන් විකිණීම්,කොල්ලකාරී තැරැවුකරුවන්ගේ මැදිහත්වීම් මත මව සහ දරුවා බලහත්කාරයෙන් වෙන්කර අලෙවි කිරීම, ආදී සිදුවීම් රැසක් එම ‘බේබි ෆාම්’ජාවාරම් හා බැඳීතිබී ඇති බවත් එම සිදුවීම් වැඩිදුර විමර්ශනය කරන විට පෙනේ.
එකම වෛද්‍යවරයෙකු හෝ වෛද්‍යවරු කිහිප දෙනෙකු විසින් දරුවන් දහස් ගණනකගේ වෛද්‍ය නිෂ්කාශන වාර්තා අත්සන් කිරීම,කොළඹ සහ ගල්කිස්ස යන ප්‍රාදේශීය අධිකරණ දෙකක් හරහා අති විශාල ප්‍රමාණයකින් දරුකමට හදාගැනීමට අදාළ නෛතික කටයුතු සිදුවී තිබීම හා නීතිවේදීන් කිහිපදෙනෙකු බහුල වශයෙන් එම කටයුතුවල නිරතවී තිබීම,දරුවාගේ මව විසින් විධිමත්ව නීතිමය අවසරය ලබාදීමට පෙර යුරෝපීය වීසා සහ ප්‍රවේශ අයදුම්පත් ඉදිරිපත් කිරීම් සහ අනුමත කිරීම් සිදුවී තිබීම ආදී මේ සම්බන්ධයෙන් විවිධ විමර්ශන සිදුකරඇති පාර්ශව විසින් හඳුනාගෙන ඇති සංවේදී, සුවිශේෂී තොරතුරු 80 දශකයේ ‘බේබි ෆාම්’ හා ළදරු ජාවාරම් පිළිබඳ වැඩිදුර ගවේෂණය කරන්නෙකුට හොඳ මූලාශ්‍ර සමුදායකි.
‘සොයමු’ ප්‍රයත්නයට සහය විය යුත්තේ ඇයි ?
————————————————————————
මෙම සිදුවීම් පිළිබඳ ගවේෂණය කිරීම ‘සොයමු’ කණ්ඩායමේ ඉලක්කයක් නොවේ.දැනට ඔවුන් සතුව ඇති සුවිශේෂී තොරතුරු පවා ගවේෂකයෙකු හෝ එම විෂය ක්ෂේත්‍රය ගැන වැඩිදුර අධ්‍යයනය කරන්නට කැමති පර්යේෂකයෙකු සමඟ බෙදාගැනීමට නොහැකි වර්ගයේ රහස්‍ය තොරතුරුය.ඔවුන් ඒකරාශී කරගනු ලබන තොරතුරු ඇසුරින් හදුනාගතහැකි සුවිශේෂී රටාවන් පවා තවම බාහිර පාර්ශවයන්ට ‘රහස්‍ය’කාරණාය. ‘සොයමු’ කණ්ඩායම උත්සාහ කරන්නේ දරුකමට හදාගැනීමට ලක්වූ වැඩිහිටි අයට සහ ජීව විද්‍යාත්මක පවුල්වලට ඔවුන්ගේ මූලාරම්භය සෙවීමේ සංකීර්ණ ක්‍රියාවලියට සහය වීමටය.
ඔවුන්ගේ උත්සාහය ආදරයේ බැඳීම ශක්තිමත් කිරීමය.’ආදරයේ බැඳීම- එහි මූලයන් නැවත සම්බන්ධ කිරීම,බලාපොරොත්තු ඇති කිරීම’,ජාත්‍යන්තරව හදාවඩාගත් දරුවන් ඔවුන්ගේ ජීව විද්‍යාත්මක පවුල් සමඟ සම්බන්ධ කිරීම ඔවුන්ගේ ප්‍රමුඛ ඉලක්ක කිහිපයකි.ඔවුන්ගේ සමස්ත සේවාව නොමිලයේ සලසාදෙනු ලබන සේවාවකි.
අද වැඩිහිටියන් බවට පත්ව,ලොව පුරා විසිරී සිටිමින් සිය අනන්‍යතාවයේ මුල් සොයන මේ ’විදෙස්- ශ්‍රී ලාංකිකයින්’ අතරින් විශාල පිරිසක් ශ්‍රී ලාංකික රාජ්‍යයේ නොැලකිලිමත්භාවය සහ අකාරුණිකභාවය නිසා ඒ් තත්ත්වයට පත්වූවෝය.එම නිසා අපට හැකි අයුරින් ඔවුන්ගේ අනන්‍යතාවය සොයාගැනීමට සහයවීම අප සැමගේ යුතුකමක් හා වගකීමක් නොවන්නේද?
anandadj@gmail.com
(soyamulk@gmail සහ servelk@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයන් ඔස්සේ ඔබටත් ‘සොයමු’ කණ්ඩායම සමඟ සම්බන්ධ විය හැකිය. www.servelk.org ඔවුන්ගේ වෙබ් අඩවියයි.)
