දවස් 12ට ඩෙංගු රෝගීන් 13,000 පනී

ජූලි මාසයේ ගතවූ දින 12 තුළ පමණක් ඩෙංගු රෝගීන් 13,293ක් වාර්තා වී තිබෙනවා.

එම සංඛ්‍යාවත් සමග මේ දක්වා වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,672 ක් වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.

මේ අතර වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 47ක් බව සඳහන්.

පවතින තත්ත්වය මත දිවයින පුරා දිස්ත්‍රික්ක 11 ක ඩෙංගු අධිඅවදානම් කලාප 60 ක් ආවරණය කරමින් අද සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ආරම්භ කළ බව, ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවා.

මේ දක්වා වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති වසර ලෙස 2017 වසර දැක්විය හැකි අතර එම සංඛ්‍යාව 186,101ක් ලෙස දැක්වෙනවා.

එම වර්ෂයේ දිනකට ඩෙංගු රෝගීන් වාර්තා වීමේ සාමාන්‍ය අගය 510ක් ලෙස දැක්වුණා.

මේ අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගය හේතුවෙන් දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව අඛණ්ඩව 1,000 සීමාව ඉක්මවා තිබෙනවා.

මේ වනවිට දිවයින පුරා නම්කර ඇති ඩෙංගු අධි අවදානම් කලාප ගණන 175ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ප්‍රදේශ රැසකම ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් වැඩසටහන් රැසක් දියත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *