මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ව්‍යුහාත්මක දුර්වලතාවල ප්‍රතිඵලයක් – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

මීගමුව බන්ධනාගාරයේ සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් මාලාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සිය බලවත් කණගාටුව පළ කරමින්, රැඳවියන්ගේ මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ ද ආරක්ෂාව සහතික කිරීම රජයේ මූලික යුතුකමක් බව අවධාරණය කරයි.

මීගමුව බන්ධනාගාරයේ සිදු වූ මෙම ඛේදවාචකය, හුදෙකලා සිදුවීමක් නොවන බවත්, එය මෙරට බන්ධනාගාර පද්ධතියේ සහ අපරාධ යුක්ති පරිපාලනයේ පවතින දිගුකාලීන ව්‍යුහාත්මක දුර්වලතාවයන්හි ප්‍රතිඵලයක් බවත් නීතිඥ සංගමය පෙන්වා දෙයි.

කවර පාර්ශවයකින් මතු වුවද සියලු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකින බව පවසන නීතිඥ සංගමය, රැඳවුම් මධ්‍යස්ථාන තුළ සිදු වන මෙවැනි සිදුවීම් හේතුවෙන් නීතියේ ආධිපත්‍යය පිරිහී යන අතර යුක්තිය පසිඳලීම කෙරෙහි පවතින මහජන විශ්වාසයට ද ඉන් ඍජු තර්ජනයක් එල්ල වන බව පෙන්වා දෙයි.

තවද, ව්‍යවස්ථාපිත අධීක්ෂණ ආයතනවලට ඔවුන්ගේ නීත්‍යානුකූල කාර්යයන් ඉටු කිරීමේදී මුහුණ දීමට සිදු වූ දුෂ්කරතා පිළිබඳවද ස්වාධීන විමර්ශනයක් පැවැත්විය යුතු බව ඔවුන් දන්වා සිටී.

මෙම සිදුවීම් විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් ස්වාධීන කමිටුවක් පත් කිරීමට රජය ගත් තීරණය සාධනීය පියවරක් වුවද, ඒ සම්බන්ධයෙන් මහජන විශ්වාසය තහවුරු වන්නේ අදාළ විමර්ශනය ස්වාධීනව, අපක්ෂපාතීව, විනිවිදභාවයෙන් සහ කඩිනමින් සිදු කරන්නේ නම් පමණක් බව නීතිඥ සංගමය සිහිපත් කරයි.

මෙම විමර්ශනය මඟින් කිසියම් නීතිවිරෝධී ක්‍රියාවක් හෝ වගකීම් පැහැර හැරීමක් සිදුවී ඇත්දැයි නිශ්චය කළ යුතු අතර, වැරදිකරුවන් වන පුද්ගලයන් සිරකරුවෙකු, බන්ධනාගාර නිලධාරියෙකු හෝ වෙනත් ඕනෑම පාර්ශවයක් වුවද ඔවුන් නීතිය ඉදිරියට පමුණුවා වගවීම තහවුරු කළ යුතුය.

එමෙන්ම, බන්ධනාගාර තුළ පවතින දීර්ඝකාලීන තදබදය විසඳීම සඳහා බන්ධනාගාර ශක්‍යතාව පුළුල් කිරීමට වඩා වැඩි ක්‍රියාමාර්ග අවශ්‍ය බව නීතිඥ සංගමය පවසයි.

ඒ අනුව,

*රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ ක්‍රියාවලි පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදු කිරීම.

*අපරාධ නඩු කඩිනමින් අවසන් කිරීම.

*සුදුසු පරිදි ඇප ලබා දීම සහ උචිත අවස්ථාවලදී සිරදඬුවම් වෙනුවට විකල්ප දඬුවම් ක්‍රම කෙරෙහි විශ්වාසය තැබීම.

*පුනරුත්ථාපන වැඩසටහන් ශක්තිමත් කිරීම, යටිතල පහසුකම් දියුණු කිරීම සහ නවීන බන්ධනාගාර කළමනාකරණයක් පවත්වාගෙන යාම, වැනි ක්‍රියාමාර් ගතයුතු බව පෙන්වා දී තිබේ.

පුද්ගලයන්ගේ නිදහස අහිමි කරනු ලැබුවද, ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් හෝ ස්වකීය ගෞරවය අහිමි නොවන බවත්, අධිකරණයකින් වරදකරු කරන තුරු ඕනෑම රැඳවියෙකු නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස සැලකිය යුතු බවත් මෙහිදී සිහිපත් කර ඇත.

එමෙන්ම, අතිශය දුෂ්කර තත්ත්වයන් යටතේ සේවය කරන බන්ධනාගාර නිලධාරීන්ට ද ආරක්ෂිත වැඩ පරිසරයක් සහ ප්‍රමාණවත් පහසුකම් ලැබීමට පූර්ණ හිමිකම ඇති බව නීතිඥ සංගමය අවධාරණය කරයි.

ජීවිත අහිමි වූ සියලු දෙනාගේ පවුල් වෙත සිය බලවත් ශෝකය ප්‍රකාශ කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය, මෙම ඛේදවාචකය මෙරට බන්ධනාගාර සහ අපරාධ යුක්ති විනිශ්චය පද්ධති සඳහා අර්ථවත් මෙන්ම කල්පවත්නා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ උත්ප්‍රේරකයක් කර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටී.

මෙම නිල ප්‍රකාශය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය සහ ලේකම් නීතිඥ නලින් ද සිල්වා යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

END/AD/MMP/09072026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *