“අපරාධකාරයෝ” යැයි නම්කරන වින්දිතයින් “හැර නොයන” ඥාතීන්!
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ජූලි 5 වන දා ඇති වූ බව කියන ගැටුමෙන් පසුව නැවතත් ඊයේ දින (ජූලි 6) නොසන්සුන්තාවක් ඇතිවූ අතර ඒ හේතුවෙන් තුවාල ලැබූ 100කට අධික පිරිසක් රෝහල්ගත කෙරිණි. රැදවියන් සහ බන්ධනාගාර නිළධාරීන් 27 දෙනෙකු මේ වන විට මිය ගොස් සිටිති. එයින් 07ක් බන්ධනාගාර නිලධාරීන් වන අතර 20ක් රැඳවියන්ය. මිය ගිය බන්ධනාගාර නිලධාරීන් අතර එක් ජේලර්වරයෙකු සහ බන්ධනාගාර නියාමකවරුන් 6 දෙනෙකු වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාරයේ සිටී සිය ඥාතීන්ට කුමක්වූයේ ද යන්න තවමත් හරිහැටි නොදත් පවුල්වල සාමාජීකයින් හට ඇත්තටම සිදු වූයේ කුමක්දැයි දැනගැනීමේ අරමුණින් බන්ධනාගාරය සහ මීගමුව රෝහල අසලට රැස්ව සිටිති. ඇතැම් රැදවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා ඇත.
“උන් ලෝකෙට අපරාධකාරයෝ වුනාට, උන් අපේ ලේ…… උන්ව අපරාධකාරයෝ කළේ පොලීසියයි, හිටපු දේශපාලනඥයෝයි.” යනුවෙන් බන්ධනාගාර ගතව සිටින සිය දරුවන් පිළිබදව උහුලාගත නොහැකි වේදනාවෙන් මව්වරු විලාප නගති.
“අපේ උන් වැරදි කරලා නෙවෙයි පොලීසියෙන් අල්ලගෙන ඇවිත් බොරු නඩු දාලා තමා මේ ඉරණම අත්කළේ” යැයි ඇතැම් දෙමාපියන් දැඩිව කීහ.
මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාව පිළිබඳව විමර්ශන තමන් වෙත භාර දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර අධිකරණය වෙත අද දැනුම් දුන්නේ ය. එහිදී ඔහු මේ දක්වා සිදු කළ විමර්ශනවල ප්‍රගතිය දැනුම් දීම ද සිදු කළේ ය.
තුවාල ලබා රෝහල්ගත කර ඇති සංඛ්‍යාවෙන් 65 දෙනෙකු රැඳවියන් වන අතර 23 දෙනෙකු නිලධාරීන්. මේ අතර, පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුව මිය ගිය පුද්ගලයින්ගේ මෘත දේහ භාර දීම ආරම්භ කර ඇති බව මීගමුව දිස්ත්‍රික් රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පැවසීය. ඔහු සඳහන් කළේ, මෘත දේහ භාර ගැනීමට රෝහල් පරිශ්‍රය වෙත මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් පැමිණ ඇති බවයි.
“මගේ පුතා ඇතුළේ ඉන්නවා… එයාගේ දකුණු අත නෑ, ඒ
පුතාව මට දෙන්න කියලා තමයි මම සර්ලාගෙන් ඉල්ලන්නේ” යැයි එක මවක් හඩමින් කීවාය.
“මගේ පොඩි පුතාට ඊයේ එයාලා ගහලා ගහලා මරලා දාලා, ඔළු පළලා, ඇස්වලට කෝටුවවලින් ඇනලා, පුච්චලා, මගේ පුතාට ගොඩාක් වධ දීලා, මගේ පුතාව මරලා දාලා. පුතාගේ මිනිය මීගමුව හොස්පිටල් එකේ තාම. අපේ ළමයි බන්ධනාගාර ගතවුණේ මැරිලා එළියට එන්න නෙවෙයි.” ඒ මව කීහ.
“මගේ මහත්තයා මැරිලා කියලා දැනගත්තේ ෆොටෝ එකකින්, ලේ ගොඩයි මගේ මහත්තයාගේ මූණ කටේ ඉඳලා ම” යැයි පවසමින් තවත් කාන්තාවක් සිය දරුවන් සමග හඬමින් කියති.
“මෙම මහා පරිමාණ ගැටුමට බලපෑ සැබෑ ආයතනික පසුබිම, නිලධාරීන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර පවතින සබැඳියාව මෙන්ම මීළඟට මෙවැනිම දරුණු බන්ධනාගාර පිපිරීමක් සිදුවීමේ අවදානම පවතින කලාපය පිළිබඳව ද සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති සේනක පෙරේරා කරුණු අනාවරණය කරයි.
වැලිකඩ සහ මහර ඝාතන ගැන මීට කලින් දාපු කමිටු නිර්දේශ කිසිවක් ක්‍රියාත්මක වෙලා නෑ. කමිටු පත්කරන්නෙ ජනතා විරෝධය යටපත් කරන්න. ලෝකෙ කිසිම කෙනෙක් අපරාධකාරයෙක් විදියට උපදින්නෙ නෑ. දෙවැනි වටයේ ගැටුම සහ බන්ධනාගාර තදබදයේ පීඩනය මීගමුව බන්ධනාගාරයේ මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් හටගන්නට බලපෑ කාරණා වූවා ” යැයි ඔහු කීහ.

ලංකාවේ සමස්ත බන්ධනාගාර 26 තුළම උපරිමයෙන් රඳවා තැබිය හැක්කේ රැඳවියන් 18,800ක් වුවද, මේ වන විට 41,000කට ආසන්න පිරිසක් පටවා තිබේ. මීගමුවේ ද පුද්ගලයන් 650ක ධාරිතාව වෙනුවට 2,600ක් රඳවා සිටි අතර, අධික රස්නය සහ වාතාශ්‍රය නොමැතිකම නිසා රැඳවියන් වැසිකිළි ඇතුළේ පවා මාරුවෙන් මාරුවට නිදාගන්නා තත්ත්වයක් තුළ ඔවුන් දැඩි මානසික ආතතියකින් පසු වීම මෙම ක්ෂණික පිපිරීමට හේතු වී ඇති බව ඔහු කීවේය.
පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් වෘත්තීය මට්ටමකින් තොරව ක්‍රියා කරමින්, තමන්ගේ මාසික වැටලීම් ඉලක්ක (Targets) සම්පූර්ණ කරගැනීම සහ මාධ්‍ය ප්‍රතිරූපය හදාගැනීම වෙනුවෙන් අහිංසක තරුණයන්ගේ සාක්කුවලට බොරු කුඩු පැකට් දමා ඔවුන් බන්ධනාගාරගත කිරීම හේතුවෙන් හිරගෙවල්වල අනවශ්‍ය තදබදයක් නිර්මාණය වී ඇති බව ද සේනක පෙරේරා පෙන්වා දුණි.
කුමන අපරාධයක් කර බන්ධනාගාර ගත වූවන් වුවද, ඔවුන් සියල්ලෝම මනුස්සයෝ වන බැවින් , සිය දඩුවම් විදීම සාධාරණ ආකාරයට සහ නිත්‍යාණූකූල ආකාරයට සිදුවිය යුතු බව ක්‍රිස්තියානි කාන්තා හඩ ව්‍යාපාරය පෙන්වා දෙයි.
“සමාජ විරෝධී , පුද්ගල විරෝධී ඔිනෑම වරදක් කළ අයෙකුට සිය තරාතිරම නොබලා දඩුවම් ලැබීමත් , ඒවා විදීමත් සිදුවිය යුතුයි. නමුත් සාපරාධී ලෙස සහ අයුක්ති සහගත ලෙස ජීවිතවලින් වන්දි ගෙවීම අසාධාරණයි,” යැයි කියයි.
“බන්ධනාගාර ගතවූවන් පුනරුත්ථාපනය කිරීම පමණක් නොව, ලංකාවේ සමස්ත බන්ධනාගාර ක්‍රියාවලිය ම සම්පූර්ණයෙන් ම ප්‍රතිසංස්කරණය කළයුතුයි. පොලීසියේ ක්‍රියාකාරිත්වය ද වචනයේ පරිසමාප්ත නීතිමය වටිනාකමක් සහිත නීතිගරුක රාජකාරියක් බවට පත්කළ යුතුයි. එවිට බන්ධනාගාර ගතවන පිරිස ද නීතියට යටත්, සැබෑ වරදකරුවන් පමණක් වනු ඇත. එවිට බන්ධනාගාරගතවන සිරකරුවන් පමණ ඉක්මවා නොයනු ඇත.” යනුවෙන් ක්රිස්තියානි කාන්තා හඩ ව්‍යාපාරය අවධාරණය කළේය.
- මෙලනි මානෙල් පෙරේරා
