සෞඛ්‍ය කාර්ය සහායකයින් 627 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ!

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් පද්ධතිය ශක්තිමත් කිරීමේ අරමුණින් සෞඛ්‍ය කාර්ය සහායක (SKS) තනතුර සඳහා බඳවාගත් 627 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) මරදාන ටවර් පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙහිදි අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ , මෙම බඳවාගැනීම කිසිදු දේශපාලනික මැදිහත්වීමකින් තොරව, විවෘත අයදුම්පත් කැඳවීම සහ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ ක්‍රමවේදයක් මත සිදු කළ සෞඛ්‍ය කාර්ය සහායක බඳවාගැනීමක් ලෙස ඉතිහාසගත වන බවයි.

එය රාජ්‍ය සේවයේ විනිවිදභාවය, සාධාරණත්වය සහ කුසලතා පදනම් කරගත් බඳවාගැනීමේ ආදර්ශයක් බවද  අමාත්‍යවරයා අවධාරණය කළේය.

පත්වීම් ලැබූ 627 දෙනා කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල මධ්‍යම රජය යටතේ පාලනය වන රෝහල් හා සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමට නියමිතය.

පසුගිය වසරේ දෙසැම්බර් 8 දින කැඳවූ අයදුම්පත් 91,473ක් අතරින් සුදුසුකම් සපුරා තිබූ 88,736 දෙනාගෙන් පළමු කණ්ඩායම ලෙස මෙම පිරිස තෝරාගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය. රෝහල්වල සැබෑ පුරප්පාඩු පදනම් කරගෙන, කිසිදු දේශපාලන බලපෑමකින් තොරව බඳවාගැනීම් සිදු කළ බවද හෙතෙම සඳහන් කළේය.

පත්වීම් ලැබූ සෞඛ්‍ය කාර්ය සහායකයන් සඳහා ලබන 7 සිට 9 දක්වා තෙදින න්‍යාත්මක හා ප්‍රායෝගික පුහුණුවක් සොයිසා කාන්තා රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල සහ කොළඹ ජාතික රෝහලේදී පැවැත්වීමට ද සැලසුම් කර ඇත.

මෙම බඳවාගැනීම මගින් රෝහල් පද්ධතිය තුළ පවතින සෞඛ්‍ය කාර්ය සහායක මානව සම්පත් හිඟය සැලකිය යුතු ලෙස අවම කරමින්, සෞඛ්‍ය සේවා සැපයීමේ වේගය, කාර්යක්ෂමතාව සහ ප්‍රතිචාරාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම රජයේ ප්‍රතිපත්තිමය අරමුණක් බවද මෙහිදී අවධාරණය කෙරිණි.

ඒ අනුව, රෝගී ජනතාවට කඩිනම්, සුරක්ෂිත සහ මානුෂීය සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය ආයතනික හා මානව සම්පත් පදනම තවදුරටත් ශක්තිමත් වනු ඇත.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්වන කේ.පී. යේගචන්ද්‍ර, හර්ෂනී සිරිනාම යන මහත්ම මහත්මීන් මෙන්ම එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන්, ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

END/GONP/MMP/05072026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *