කාදිනල් රංජිත් හිමිපාණන් පිළිබඳ අසත්‍ය අන්තර්ගතයන් කතෝලික රදගුරු සම්මේලනය හෙළා දකිති!

අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් තම ධුර කාලය දීර්ඝ කර ගැනීම සඳහා 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය යොදා ගත් බවට දැනට පැතිර යන සමාජ මාධ්‍ය ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින්, ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සම්මේලනය (CBCSL) කාදිනල් රංජිත්  හිමිපාණන් කෙරෙහි  නොසැලෙන සහයෝගය තහවුරුකර තිබේ.

කාදිනල් රංජිත් හිමිපාණන්ට සහ පූජක පක්ෂයේ සාමාජිකයින් කිහිප දෙනෙකුට එරෙහිව සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය සහ අපහාසාත්මක අන්තර්ගතයන් ප්‍රතික්‍ෂේප කරමින් , හෙළා දකින කතෝලික රදගුරු සම්මේලනය, සිය ගණනක් ජීවිත බිලිගත් පාස්කු ඉරිදා ප්‍රහාරය වටා ඇති කරුණු විකෘති කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ කරන බව  නිවේදනයේ සඳහන් කරයි.     

රදගුරුවරයෙකුගේ  විශ්‍රාම යාම නිල වශයෙන් ක්‍රියාත්මක වන දිනය තීරණය කිරීමට පූර්ණ බලය ඇත්තේ ශුද්ධෝත්තම පාප්වහන්සේට පමණක් බව 
 රදගුරු සම්මේලන නිවේදනය අවධාරණය කරයි. 
 
“මෑත කාලයේ සිට, සමහර පුද්ගලයින්, විශේෂයෙන් සමාජ මාධ්‍ය හරහා, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ඇතැම් පූජකවරුන් අපහාසයට ලක් කරන අසත්‍ය තොරතුරු සහ මත පතුරුවා හැරීමට උත්සාහ කරන බව අපි නිරීක්ෂණය කරමින් සිටිමු. මෙයට ප්‍රධාන හේතුව, 2019 අප්‍රේල් 21 වන දින පාස්කු ඉරිදා සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාර පිටුපස ඇති සත්‍යය අනාවරණය කර ගැනීමට සහ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමට අති උතුම් කාදිනල්තුමා සහ ශ්‍රී ලංකා කතෝලික සභාව දරණ උත්සාහයන් අඩපණ කිරීමයි.”

“මෙම අසත්‍ය ප්‍රචාර අතර ප්‍රධානතම දෙය නම්, අති උතුම් කාදිනල්තුමා තම ධුර කාලය දීර්ඝ කර ගැනීම සඳහා පාස්කු ඉරිදා ප්‍රහාරය භාවිතා කරන බවට කරන ප්‍රකාශයයි. එය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රචාරයක් බව අපි ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු, අපි එය දැඩි ලෙස හෙළා දකිමු.” යනුවෙන් රදගුරුවරු අවධාරණය කරති.

 
” ඒවා නොමඟ යවන සහ පිළිගත නොහැකි ප්‍රකාශ” ලෙස තවදුරටත් විස්තර කරයි. එය කැනන් නීතිය වැරදි ලෙස නිරූපණය කිරීමට සහ පල්ලියේ ක්‍රියා පටිපාටි සම්බන්ධයෙන් මහජනතාව නොමඟ යැවීමට ගන්නා උත්සාහයන් ලෙස පෙන්වා දෙයි. 
 
ඒ අනුව, බිෂොප්වරයෙකුගේ විශ්‍රාම යාම නිල වශයෙන් ක්‍රියාත්මක වන දිනය තීරණය කිරීමේ පූර්ණ බලය ඇත්තේ ශුද්ධෝත්තම පාප්වහන්සේට පමණි.

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත්, වයස අවුරුදු හැත්තෑපහට ළඟා වූ පසු, විශ්‍රාම යාමේ ලිපිය  ශුද්ධෝත්තම පාප්වහන්සේ වෙත ඉදිරිපත් කර ඇති බවත්, විශ්‍රාම ගැනීම සඳහා අනුමැතිය ශුද්ධෝත්තම පාප්වහන්සේ ලබා දෙන තෙක් ඔහු තම කාර්යාලයේ වගකීම් ඉටු කිරීමට බැඳී සිටින බවත් CBCSL ප්‍රකාශය පැහැදිලි කරයි.

“අතිගරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විශ්ව කතෝලික සභාවට සහ දේශීය කතෝලික සභාවට විශාල සේවයක් කර ඇති අතර, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් වින්දිතයින්ට සත්‍ය සහ යුක්තිය ඉටු කිරීමේ අවංක අභිප්‍රායෙන් ඔහු පෙනී සිට ඇත.

 
“CBCSL සහ ශ්‍රී ලංකාවේ සියලුම කතෝලිකයින් උන්වහන්සේගේ නොපසුබට උත්සාහය අගය කරන අතර, අපි සියලු දෙනාම උන්වහන්සේට අපගේ පූර්ණ සහයෝගය ලබා දෙන බව මෙයින් අවධාරණය කිරීමට කැමැත්තෙමු.” යනුවෙන් CBCSL සභාපති සහ මහ ලේකම්  –   හැරල්ඩ් ඇන්තනි පෙරේරා රදගුරු හිමි සහ කොළඹ සහායක රදගුරු ඇන්ටන් රංජිත් හිමි (යාපනය රදගුරු පදවියට අලුතින් තේරී පත් වූ රදගුරු) විසින් අත්සන් කරන ලද ප්‍රකාශයේ සඳහන් වේ.
–  ම‍ෙලනි මානෙල් ප‍ෙර‍ේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *