ඉන්දියාවට රත්‍රන් රැගෙන යාමට උත්සාහ කළ 26ක් අත්අඩංගුවට
කන්කසන්තුරෙයි වරායේ සිට ඉන්දියාවේ නාගපට්ටිනම් බලා ඊයේ (17) දිනයේ යාත්‍රා කිරීමට නියමිතව තිබූ ‘SG 423’ මගී ප්‍රවාහන නෞකාවෙන් නීති විරෝධී ලෙස ඉන්දියාවට රත්‍රන් රැගෙන යාමට උත්සාහ කළ මගීන් 26 දෙනෙකු ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රේගු නිලධාරීන්ට ලැබුණු විශ්වාසවන්ත බුද්ධි තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම පිරිස කොටු කර ගැනීමට හැකිව ඇත.
අත්අඩංගුවට පත්වූ 26 දෙනා අතරට ඉන්දීය ජාතිකයින් 17ක් සිටින අතර, මෙරට පුද්ගලයින් 9ක් සිටී. ඔවුන්ගෙන් 6 දෙනෙකුම කාන්තාවන්වීම සුවිශේෂීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතුරින් දෙදෙනෙකු සන්තකයේ රත්‍රන් සඟවාගෙන සිටියදී සොයාගෙන ඇත.
කෙසේ නමත් රත්‍රන් ශරීරය අභ්‍යන්තරයේ සඟවා ඇත්දැයි පරීක්ෂා කිරීම ඇතුළු වෛද්‍ය පරීක්ෂණ සඳහා මගීන් 26 දෙනාම යාපනය ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා රේගුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
