ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල පහත දමයි
රජයේ සිල්ලර අලෙවිසැල් ජාලය වන ලංකා සතොස හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ 18ක මිල පහත හෙළීමට රජය තීරණය කර ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පැවසුවේ, මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් උද්ගතව ඇති ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යමින් පවතින පසුබිමක, මෙරට ජනතාවට සහන සැලසීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව, හෙට (10) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය මඟින් අලෙවි කරනු ලබන භාණ්ඩ 18ක මිල, පිටකොටුවේ තොග මිලටත් වඩා අඩු මිල ගණන් යටතේ ලබාදීමට අවශ්‍ය තීන්දු තීරණ ගෙන ඇති බව සඳහන්.
මෙලෙස මිල පහත හෙළා ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18 අතරට ලොකු ලූනු, සුදු සීනි, පරිප්පු, කවුපි, කඩල, මුං ඇට, රට කජු, තිරිඟු පිටි, රතු කැකුළු සහල්, රතු නාඩු සහල්, සම්බා සහල්, සුදු නාඩු සහල් සහ පොන්නි සම්බා සහල් ඇතුළත් වන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
ආනයනික භාණ්ඩවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාම සැලකිල්ලට ගෙන ජනතාවාදී රජයක් ලෙස ජනතාවට සහන සැලසීම සඳහා රජය සතු රාජ්‍ය යාන්ත්‍රණය උපරිම අයුරින් ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවා.
ඒ අනුව, ජනතාව මුහුණ දෙන පීඩනය අවම කිරීම වෙනුවෙන් ලංකා සතොස ආයතනයේ සභාපති රවින්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඉහළ කළමනාකාරීත්වය විශේෂ අවධානයක් යොමු කර මෙම තීරණය ගෙන තිබෙනවා.
