සියලුම රබර් ඉඩම් වෙනුවෙන් QR කේතයක් හදුන්වාදීමේ වැඩසටහනක් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් = නදීක දයා බණ්ඩාර

මෙරට සියලුම රබර් ඉඩම් මිනුම් ගත කොට ඉඩම් සඳහා  QR කේතයක් හදුන්වාදීමේ වැඩසටහනක්  රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව එක්ව  දියත් කොට තිබේ.

රබර් නිෂ්පාදන යුරෝපා රටවලට අපනයනය කිරීමේදී ප්‍රමිතිගත කිරීම සඳහා මෙම කේතය අවශ්‍ය වන බව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ සංවර්ධන නිලධාරී ආර්.එම්.යූ.බී.රත්නායක මහතා පවසයි.

වනාන්තර එළිපෙහෙළි කරමින් සිදුකරන නිෂ්පාදන අධෛර්යයමත් කිරීම හා නව විනාශය වැළැක්වීම සඳහා යුරෝපා සංගමය ගෙන ඇති තීරණය යටතේ ශ්‍රී ලංකාව තුළද රබර් ඉඩම් ප්‍රමිතිගත විය යුතු යැයි  ජ්‍යෙෂ්ඨ සංවර්ධන නිලධාරීවරයා මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී පැවසීය.

ඒ අනුව වනාන්තර එළි පෙහෙළි කිරීමෙන් තොරව මෙරට රබර් වගාව සිදුවිය යුතු බවත් වගාවේදී කිසිදු අයුරකින් ජල මූලාශ්‍ර, වන සතුන්, ශාක ඇතුලු ස්වාභාවික පරිසරයට හානි නොවිය යුතු යැයි ද ඒ මහතා කීවේය. එම කරුණු සැලකිල්ලට ලක් කොට  QR කේතය ලබා දෙන බව කී ඒ මහතා රබර් නිෂ්පාදන යුරෝපා සංගමය වෙත අපනයනය කිරීමේදී එම කේතය අත්‍යවශ්‍ය වන බව ද පෙන්වා දුන්නේය.

රබර් ඉඩම් සිතියම් ගත කිරීමේදී මහනුවර දිස්ත්‍රික්කයේ හතරලියද්ද සහ ගලගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි හෙක්ටයාර් 177ක් සිතියම් ගත කිරීමට නියමිත යැයි ද ඒ මහතා පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති මෙම සාකච්ඡාව සඳහා දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලූකා බුලත්ගේ, මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ වී.ඩී.නිරූෂා අයෝනි මහත්මිය ඇතුලු පිරිසක් සහභාගීවූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *