මුහුදු ගිය ධීවරයින් 6ක් දින 5ක් තිස්සේ අතුරුදන් – හිරුණි ලක්ෂිකා
ධීවරයින් හය දෙනකු සමඟ කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු රැකියාවේ ගිය බහුදින ධීවර යාත්‍රාවක් දින පහක පමණ කාලයක සිට අතුරුදහන්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසනවා.
ඉකුත් සැප්තැම්බර් 09 දා කුඩාවැල්ල ධීවර වරායෙන් පිටව ගිය තමාට අයත් “දිනේෂා -02” නමැති බහුදින ධීවර යාත්‍රාව දින පහකට පමණ පෙර ධීවර යාත්‍රාවේ සිට ගොඩබිමට අවසන් ඇමතුම ලබා ගත් බවත්, ඉන්පසු ඇමතුම් ලබා නොගන්නා ලද බවත් පවසා යාත්‍රාවේ හිමිකරු වන නාකුලුගමුව, බටහිර කුඩාවැල්ල පදිංචි අන්ද්‍රාහැන්නදිගේ චාමින්ග (35) නමැති අය ඊයේ (19) දහවල් තංගල්ල මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
එම ධීවර යාත්‍රාවේ ස්කිපර්වරයා ලෙස දෙවිනුවර කපුගම, දෙව්ගම්පුර පදිංචි 29 හැවිරිදි එල්.එච්. ලහිරු ප්‍රසාද් නමැති ධීවරයා කටයුතු කර ඇතැයි පොලිසිය සඳහන් කළා.
දෙවිනුවර, පට්ටියහේන පදිංචි විජේසිරි දිසානායක (අවු :59 ), දෙවිනුවර ,පට්ටියහේන පදිංචි එල්.එච්.රුවන් සමීර (අවු; 34) ,ඕමල්පේ ,පල්ලෙකන්ද පදිංචි රොශාන් කුමාර කරුණාරත්න (අවු :34 ), දෙවිනුවර , පට්ටියහේන පදිංචි පී.එම්.ලලිත් ප්‍රසන්න (අවු: 37 ) සහ දික්වැල්ල , හංවැල්ල පදිංචි එම්.එච්.පසිදු දිල්සර (අවු : 20) එම යාත්‍රාවේ රැකියාවේ ගිය අනෙකුත් ධීවරයින් පස්දෙනා වේ.
සිදුවීම පිළිබඳව නාවික හමුදාව සහ අනෙකුත් අදාළ අංශ දැනුම්වත් කර ධීවර යාත්‍රාව පිළිබඳව තොරතුරක් ලබා ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා.
තංගල්ල මූලස්ථාන පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වනවා .
