උඩරට දුම්රිය මාර්ගයේ හෙටත් ගමන්වාර කිහිපයක් අවලංගුයි – හිරුණි ලක්ෂිකා
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (20) දිනත් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බරපතළ බාධා එල්ල වූ අතර, හෙට (21) දිනයට නියමිත සමන්වාර කිහිපයක්ද අවලංගු කිරීමට සිදුවනු ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
බලන සහ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථාන අතර පස් කඳු දුම්රිය මාර්ගයට කඩා වැටීම සහ මාර්ගයට ආසන්නව ස්ථාන දෙකක නාය යෑම් සිදුවීම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇති අතර, ඊට අමතරව, ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීමද ගමනාගමන කටයුතුවලට බාධා ඇති කරනු ලැබුවා.
මෙම තත්ත්වය හේතුවෙන් අද දිනට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 18ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවූ අතර, හෙට (21) උදෑසන මහනුවර සහ මාතලේ සිට කොළඹ කොටුව සහ මාතර බලා ධාවනය වීමට නියමිතව තිබූ පහත දුම්රිය ගමන් වාර 04ක්ද දැනට අවලංගු කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව, අලුයම 04.30 – මහනුවර සිට කොළඹ කොටුව බලා, අලුයම 04.50 – මාතලේ සිට කොළඹ කොටුව බලා, උදෑසන 05.00 – මහනුවර සිට බෙලිඅත්ත බලා සහ උදෑසන 06.15 – මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය කෙරෙන දුම්රිය ගමන්වාර මෙලෙස අවලංගු කර තිබෙනවා.
