‘නාමල් නීති විභාගය ලියපු විදිහ ගැන පුළුල් විමර්ශනයක් කරන්න’- අධිකරණයෙන් නියෝග

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නීති විද්‍යාලයේ අවසන් විභාගය සමත්ව ඇත්තේ වංචනික ආකාරයෙන් ද යන්න පිළිබඳව පුළුල් විමර්ෂණයක් පවත්වා වහා ම අධිකරණයට කරුණු වර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි අද (අප්‍රේල් 3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා ය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා අවසර ලබා දෙන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම කෙරුණි.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ නීති විද්‍යාලය මගින් පැවැත්වූ විභාගය සමත්ව නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දී ඇත්තේ වංචනික ආකාරයෙන් බවට කරුණු අනාවරණය වන බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ඔහුගේ නීතිඥභාවය අහෝසි කිරීමට අවශ්‍යය පියවර ගන්නා ලෙසට පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත ජයසූරිය තම දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙම ඉල්ලීම කරන බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූහ.

විමර්ශන නිලධාරීහු අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය වහාම ඒ පිළිබඳව විමර්ශනයක් පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ද වැඩිදුරට ත් නියෝග කළා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *