සිය ගැටලු පරම්පරාවෙන් පරම්පරාවට නොවිසදෙමින් ගමන් කරන බව ආදිවාසී නායකවරයා මහනුවර දී කියයි. – නදීක දයා බණ්ඩාර
විසදුම් නොමැතිවීම නිසා සිය ගැටලු පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරියට ගමන් කරන බව ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තන් පවසයි.
වනාන්තරය සමඟ ජීවත්වීමේදී කැලෑවට ප්රවේශවීම ඇතුලුව ගැටලු රැසක් දීර්ඝකාලයක් තිස්සේ මතුවී ඇතැයි ද ආදිවාසී නායකවරයා කීවේය.
ඇසළ පෙරහැරට සමගාමීව දාඹාන ආදිවාසීන් මී පැණි පූජා කිරිමේ චාරිත්‍රය සඳහා අද (15) ශ්‍රී දළදා මාලිගාවට පැමිණ මී පැණි පූජා කිරීමෙන් පසු මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් හමුවේ ඌරුවරිගේ වන්නිලැත්තන් මේ බව සඳහන් කළේය.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ආදිවාසී නායකයා ප්රමුඛ පනස් දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායම පිළීගන්නා ලදි. දන්ත ධාතූන් වහන්සේ උදෙසා මී පැණි පූජා කිරීම අනතුරුව සිදුවිය.
දඹාන කේන්ද්‍ර කොට ජීවත් වන ආදිවාසීන්, වනයෙන් නළා ගත් නැවුම් මී පැණිවල අග්‍රඵලය පළමු රන්දෝලි පෙරහැර දිනයේදී දන්ත ධතූන් වහන්සේ උදෙසා පූජා කිරීම අතීතයේ සිටම සිදුවන සම්ප්රදායකි.
මී පැණි පූජා කිරීමෙන් අනතුරව සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත් ආදිවාසී නායකයා ඇතුලු කණ්ඩායම අනතුරුව මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක සාකච්ඡාවක නිරතවූහ.
සිය ගැටලු සම්බන්ධ යෝජනාවලියක් මෙවරත් රජයට ඉදිරිපත් කොට ඇති බව කී වන්නිලැත්තන් ඒ සඳහා ඉදිරි මාසයේදී විසදුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද කීවේය.
මහා නායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ආදි වාසි නායකයා, ජනාධිපතිවරණයෙන් බලයට පත්වන නායකයා කවුරු වුවත් මහා නායක හිමියන් මෙන් තමන් ද නව නායකයා සමඟ කටයුතු කරන බව පැවසුවේය. කවුරු බලයට පත්වුවත් හෙතෙම රටේ මහජනයාට සුබ සිද්ධිය කිරීම සිය අපේක්ෂාව යැයි ද ආදි වාසී නායකයා කීවේය.
දන්ත ධාතූන් වහන්සේ උදෙසා මී පැණි පූජා කිරීම පුරාතනයේ සිට සිය මුතුන් මිත්තන් කළ චාරිත්‍රයක් බවත් ඉකුත් වර්ෂවලට සාපේක්ෂව මෙම වර්ෂයේදී මී පැණි සොයා ගැනීම ගැටලුවක් නොවුණු බව ද වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තන් වැඩිදුරටත් සඳහන් කළේය.
මී පැණි පූජා කිරීමට පැමිණි ආදිවාසී කණ්ඩායම පළමු රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා එක්වීමට නියමිත අතර මෙම අවස්ථාවට මහියංගණය ප්‍රාදේශීය ලේකම් සංජය ප්‍රසාද් සිරිවර්ධන මහතා ඇතුලු එම කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද එක්විය.