ඉදිරි වසර විස්සක කාලය තුළදී ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථීක වර්ධනයක් කරා යොමු වන බව ජනාධිපතිවරයා පවසයි. – නදීක දයා බණ්ඩාර

ඉදිරි වසර විස්සක කාලයක් තුළදී ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා යොමු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුලුව ශ්‍රී ලංකාවට ණය දුන් රටවල් සමඟ ඇත්කර ගත් අවබෝධතාව හේතුවෙන් ශ්‍රී ලංකාවට ආර්ථික වර්ධනය කරා යොමුවීමට පසුබිම සකස් වී ඇතැයි ජනාධිපතිවරයා තව දුරටත් පැවසුවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර කරළිය සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (10) පැවැති මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු වෘත්තිය සමිති හා තරුණ නායක හමුවට එක්වෙමිනි.

අවස්ථා ගණනාවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් සහන කොන්දේසි අනුගමනය නොකර තිබුණු පසුබිමක් තුළ ශ්‍රී ලංකාවට යළි එම සහනය ලබාදීමට ඔවුන් එකඟ වූයේ දිගින් දිගටම කළ සාකච්ඡා හේතුවෙන් යැයි කී ජනාධිපතිවරයා, ණය ආපසු ගෙවිම සඳහා සහන කාලයක් ලබාදුන්නේ එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් අනුව යැයි ද කීවේය.

ඩොලර් බිලියන 85ක් වූ ශ්‍රී ලංකායේ දළ දේශීය නිෂ්පාදනය ඉදිරියේදී ඩොලර් බිලියන 350ක ඉලක්කයක් කරා ගමන් කරන බව ද වික්‍රමසිංහ මහතා කීහ. ශ්‍රී ලංකාවේ ආදායම අවුරුදු පහන් පහට ඉහළ ගොස් එම ඉලක්කය කරා ක්‍රමානුකූලව යොමු වන බව ද ඒ මහතා පැවසුවේය.

වසර ගණනාවකින් වතු කම්කරුවන් සඳහා  සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් ගෙවා නොමැති බවත් ඉදිරි වර්ෂයේ සිට සියලු වතු කම්කරුවන්ට එම මුදල් ගෙවීමට පියවර ගන්නා බව ද එහිදී ජනාධිපතිවරයා  කීවේය.

සෙසු විවිධ වෘත්තිකයන් සඳහා වැටුප් ඉහළ නංවන අවස්ථාවේදී වතු කම්කරුවන්ට වැටුප් ඉහළ නැංවීමට නොහැකි වූ බවත් පඩි පාලක මණ්ඩලයේ තීරණයක් අනුව ලබන සදුදා සිට විශේෂ නීති ගෙන එමින් වතු සේවක වැටුප් ඉහළ නැංවීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.

වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, ලොහාන් රත්වත්ත, හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර යන මහත්වරු ඇතුලු මහජන නියෝජිතයන් හා වතු කම්කරුවන් රැසක් මෙම අවස්ථාවට සහභාගීවිය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed